Sunday, 14 October 2018

4.0 "මඩේ ලගින තාරවන් නාවන්නද මන්.. "




"තාරාවෝ ඉගිලෙති" කියන වේදිකා නාට්යයේ 'මර්සි එදිරිසින්හයන්' රග දවමින් ගායනා කරන එක් ප්රසිද්ද සින්දුවක් තමයි ඔය හෙඩින්ග් එකට දැම්මෙ

ඔය සින්දුව තමයි මන් ඕනේම තැනක මගේ හැකියාවන් ඉදිරිපත් කිරීමක් විදිහට යොදා ගත්තෙ. මන් පස්සෙ කාලෙක කල්පනා කලා මන් ඇයි වගේ ලොකු තේරුමක් තියෙන සින්දුවක් ආසම සින්දුව විදිහට ගත්තෙ කියලා. මොකද මන් එහෙම හිතන්නත් පටන් ගත්තෙ ඔය නාට්යය දැනුම් තේරුම් තියෙන කාලෙක බැලුවට පස්සෙ.

එතකොට තමයි මට මතක් උනේ මන් නාන්න ගිය ගගේ හිටපු තාරාවො ටික. කවදාකවත් අල්ලගන්න බැරි උනත් නාන්න ගිය හැම සැරේම උන්ගෙ පස්සෙන් ගියෙ අල්ලගන්න. තාත්තගේ අතේ අල්ල උඩට නැගල ජබොක් ගාල පනින එකයි තාරවො පස්සෙන් පන්නන එකයි තමා නානවට අමතරව ගගට ගියාම කරන්නෙ. ඉතින් මේ සුන්දර පසුබිමත් ඉන්න ළමයෙකුට එයා දන්න තාරවො ගැන සින්දුවක් විදිහට ඇහෙද්දි කොච්චර සතුටක් දැනෙන්න ඇත්ද? ඒක නිසා ඕනෙම ප්‍රීතිමත් අවස්තාවක කියවුනේ මේ සින්දුව තමා.

දැන් ගගකට ඔයකට නාන්න යැවෙන්න යාළුවො ටිකක් හරි එහෙමත් නැත්නම් පවුලේ සහෝදර සහෝදරියන් ටික එකතු වෙන්න ඕනෙ. සින්හල දෙමල අලුත් අවුරුද්දට එහෙම එකතු උන දවසක උන් එකෙක්ගෙ පොඩි එකෙකුත් ආවා. ඌ ආවෙ සෙල්ලම් සවලකුත් එක්ක. මෙලෝ සිහියක් නැතුව පොඩි එකා වැලි සෙල්ලම්. ඒත් ඌට පේන්න කිසිම කුරුල්ලෙක් සතෙක් නෑ. තව ටිකක් ඈතිනුත් පේන්න තියෙන්නෙ වැලි ගොඩ දැමීමක්. පොඩි එකා හිතන්න ඇති මාමල ටිකක් වැලි කෙලියෙ කියල.

එදා අපිට පෙනුන පරිසර පද්ධතියට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි අද තියෙන්නෙ. අම්ම තාත්ත එක්ක කතාකලොත් එයාල හැදුන වැඩුන පරිසරය තවත් වෙනස්. තාත්ත දැකපු විදිහට අද අපි නාන ඔය මැදින් ලොකු වැලි කන්දක් තිබිල තියෙනව ඔය දෙකට මැදින් වෙන් කරපු. අද එහෙම කිසිම දෙයක් නැතුව ඔයේ මැදත් ලොකු වලවල් හැදිල. හැමදෙයකම ඇතිවී පැවතී නැතිවී යන අනිත්ය ස්වභාවය කියල හිතුනත් ඊලග පරම්පරාවට දෙයක් නැතිවේද කියන විමසුමත් එක්ක දුකක් ඇතිවෙනව.

ඉතින් ආයෙත් සින්දුව පැත්තට හැරුනොත්, තාත්තා කරපු රෙකොර්ඩ් එකකත් තියෙන්නෙ බොහොම අමාරුවෙන් මේ සින්දුව කියන හැටි. හිනාම යන්නෙ 'එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මන්' කියල දෙතුන් පාරක්ම කියන එක. ලග පාත ඉන්න අයට හිනා සාගරයයි. මේ සින්දුව ගයපු අවස්තා හැම එකකදිම අහන් හිටපු අය ඔක්කොම සතුටු උන නිසා කියන්න එපා කියල කවුරුත් කිව්වෙ නෑ. ගොඩාක් කරපු වැඩ වලට එපා කියද්දි මේකට කිසිම විරුද්ධත්වයක් ආවෙ නැහැ.

දවසක් ගෙදර මිදුලෙ සෙනග ගොඩක්. අයත් එක්කම බලු හමුදාවකුත් ඇවිත්. බල්ලන්ට බෙහෙත් විදින දවසක්. ඉතින් වෙලාවෙ අයව එන්ටටේන් කරන්න එද යොදා ගත්තෙත් මේ සින්දුව තමයි. මන් හිතන්නෙ එදා අම්මටනම් ලැජ්ජා හිතුනා. ඒත් තාත්තා ගෙදර හිටිය නිසා මගේ ප්රසන්ගය කරදරයක් නැතුව කරන් ගියා. මට මතකයි බයිසිකලයකුත් පැද පැද තමයි වැඩේ කරන් ගියෙ කියලා.


බලු රන්චුවකගෙ ඔකෙස්ට්රා එකකුත් එක්ක හිතා ගන්න පුලුවන්නෙ සින්දුව නැගල ගිය විදිහ.

No comments:

Post a Comment

25. විනෝද චාරිකා

පවුලෙ අයත් එක්ක මුලින්ම ගිය විනෝද චාරිකාව මොකක්ද කියල නම් මට හරියට මතක නෑ . ඒත් ඉස්සර අනිවාර්යෙන්ම දෙසැ...