Thursday, 21 February 2019

18. කිරි තේ



කිරි තේ ගැනත් මට කියන්න කතා ගොඩක් තියෙනව. කිරි තේ වලට තියෙන කැමැත්ත හින්ද කතා ටිකක් එකතු උනා කිව්වොත් හරි. පොඩි කාලෙ ඉදලම කිරි තේ කියන්නෙ මගේ එක ප්‍රියතම ආහාරයක්. ඒ කොහොම උනත් මන් පොඩිම කාලෙ ඒ කියන්නෙ මව් කිරි බොන කාලෙදි නම් පිටි කිරි බොන්න අකමැති කෙනෙක්ලු. පිටි කිරි දුන්නම අඩ අඩ වමනෙ කලා කියල තමයි අම්මයි තාත්තයි කිව්වෙ. පොඩි එකා උනත් ගුණ මොකක්ද කියල දැන ගෙන ඉදල තියෙන්නෙ. වයස අවුරුදු තුනක් වෙනකන් මවු කිරි තමයි බීල තියෙන්නෙ.

කොයි කාලෙ ඉදන් කිරි තේ වලට කැමැත්තක් ඇති උනාද කියල නම් මට හරියටම මතක නෑ. පොඩිම කාලෙ මන් බිව්වෙ අම්ම හරි රේණුකා හරි හදන තේ එක විතරයි. ගොඩක් කල් යනකන් මන් කහට තේ බිව්වෙ නෑ. කිසිම තේරුමක් රසක් නැති පානයක් විදිහට තමයි මට ඒව ගැන හිතුනෙ. ඒ ලෙවල්ස් ඉවර වෙලා මාස තුනක කම්පියුටර් කෝස් එකක් කරන්න ගියාම එතනින් උදේට දුන්න ප්ලෙන්ටී. අන්න ඊට පස්සෙ තමයි ප්ලෙන්ටී බොන්න පටන් ගත්තෙ. 

ඉතින් ඉස්කෝලෙ යන කාලෙ උදේට අම්ම හදන තේක තමයි එනර්ජි ඩ්‍රින්ක් එක උනේ. කෝප්පෙ කට ලගටම එනකන් තේකක් තියෙන්න ඕනෙ. නැත්නම් අවුල්. කෝප්පයක් තෝරද්දි මන් බැලුවෙ මට ඇති ප්‍රමානයට තේ බොන්න පුලුවන් කෝප්පයක්ද නැත්ද කියන එකයි. ඒක හින්ද තේ බොන කෝප්පෙ මාරු කරද්දි මන් කලින් එකත් එක්ක සන්සන්දයන කරල තමා අලුත් කෝප්පෙට මාරු උනේ. අළුත් අවුරුද්දට තේ කෝප්ප තෑගි විදිහට ලැබුනත් ඒවා පාවිච්චි කලේ අර වගේ චෙකප් එකකින් පස්සෙ. ඉතින් ගොඩක් වෙලාවට ලස්සන අඩු ලොකු කටක් තියෙන පරණ තාලෙ කෝප්පම තමයි මේ හේතුව හින්ද තිබුනෙ.

අම්ම ගෙදර නැති වෙලාවක තේ හැදුවොත් මිසක් මන් මට තේ හදාගෙන බොන්න ඒ කාලෙ කැමැත්තක් තිබුනෙ නෑ. කොහොම හැදුවත් ඒ කොලිටි එකට තේක ආවෙ නෑ.ඉතින් මේ සිද්දිය උනේ මන් ඒ ලෙවෙල් විභාගෙ කරන කාලෙදි. ඒ දවස්වල රෑ පාඩම් කරද්දි අම්ම ප්ලාස්ක් එකකට තේ දාල දෙනව නිදිමත උනාම බොන්න කියල. පාඩම් කරන්න පටන් ගනිද්දිම මන් හිතන්නෙ තේ එක බොන්නෙ කීයට විතරද කියලයි.ඊට පස්සෙ ටිකකින් සැරින් සැරේ වෙලාව බල බල ඉන්නෙ කලින් හිතන් හිටපු වෙලාවට තේක බොන්න. ප්ලාස්ක් එකේ තේ ඉවර වෙනකන් බිව්වම තමයි මට හිතෙන්නෙ පාඩම් කලා ඇති කියල. ඇයි ඉතින් ශක්තිය ඉවර වෙනව නොවැ. ඉතින් ඔහොම අම්ම ගෙදර නැති දවසක රෑ ඒ තේක මටම හදාගන්න සිද්ද උනා. දන්න ශිල්ප ඔක්කොම දාල තේ බෝතලෙ හදාගත්ත රෑ පාඩම් කරද්දි බොන්න කියල.ඉතින් වෙනද ක්‍රමේටම තේ බොන වෙලාව ප්ලෑන් කරල පාඩම් කරල ටිකකින් මන් ලෑස්ති උනේ මන් විසින්ම හදපු ඒ තේ එක පානය කරන්නයි. මගේ කට ලොකු ජොග්ගු කෝප්පෙට එකකම දාගත්තත් මට ඒ ඔක්කොම බොන්න බැරි උනේ රසයේ තිබුන අවුල් තත්වය හින්දයි.

ඒත් ඉතින් මන් මහන්සි වෙලා හදපු තේක නේද කියල ඉතුරු ටික විසි නොකර ආපහු ප්ලාස්ක් එකටම දැම්ම තව ටිකකින් බොන්න.ඒ අපරාදෙ අහක දාන්න කියන සිතුවිල්ලත් එක්ක කොහොමහරි පාඩම් කරල ඉවර වෙද්දි ඔක්කොම ටික මන් බිව්ව. පස්සෙ නිදාගන්න ගියා. කලන්තෙ හැදිල වගේ තද නිදිමතකින් ඇදට ගියාට වැඩි වෙලාවක් නිදා ගන්න හම්බුනේ නෑ. බඩ ඇතුලෙන් පෙරල ගෙන එනව වගේ දැනුන. තව පොඩ්ඩක් බලමු කියල හිතුවත් බඩ ඇතුලෙ හෙන ජරමරයක් වගේ හින්ද ආපහු නැගිට්ට. කටටත් පොඩි ලුණු රසයක් දැනී දැනී එද්දි මන් බය උනේ වමනෙ යයි කියලයි. වමනෙ යද්දි හෙන අමාරු හින්ද මන් කොහොමහරි බැලුවෙ වමනෙ නොදා ඉන්නයි. ඒක හින්ද ආයෙමත් ගිහින් නිදාගන්න ට්‍රයි කලත් වැඩේ හරි ගියෙ නෑ. උදේ එලිවෙනකන් වගේ දෙතුන් පාරක් වමනෙ ගියා.එහෙම ඉදල උදේ තාත්ත ඇහුව කිරි තේකක් හදන්නද කෝපි ටිකක් දාල කියල. කිරි තේ කියද්දිත් බඩ දගලන්න වගේ උන හින්ද මන් කිව්ව කෝපි විතරක් ඇති කියල. ස්කෝලෙ ගිහින් යාළුවන්ට වැඩේ කිව්වම කට්ටියට හරි ජොලි වෙච්ච වැඩේට. අපේ ගෙදර උන් ආව වෙලාවට මට තේ හදන්න එපා කිව්ව.

ඊට පස්සෙ තේ සම්බන්ධයෙන් සිද්දි කීපයක් වාර්තා වෙන්නෙ ඒ ලෙවෙල් කරන කාලෙ බෝඩිමේ ඉන්නකොට. පිටි අඩු, කහට වැඩි තේ තමයි අපිට එහෙදි බොන්න සිද්ද උනේ. කොටින්ම කිව්වොත් වතුර ගතිය වැඩියි. අපි කටිට්යට ඇතිවෙන්න තේ ප්ලාස්ක් එකකට දාල ඒ ආන්ටි කෑම මේසෙ උඩින් තියල තියනව. උදේටයි හවසටයි තමයි තේක ලැබෙන්නෙ. සමහර දවස්වලට ආන්ටි එළවළු රොටී වගේ දෙයක් දෙනව හවස තේකත් එක්ක. ඉතින් ඔහොම ටික දවස් යද්දි අපි හැමෝටම වගේ හවස පන්ති තිබුන. සමහර වෙලාවට අපි කලේ ස්කොලෙ ඇරිල යන ගමන් පොඩි දෙයක් කාල බෝඩිමට ඇවිත් දවල් කෑම කාපු එකයි. ඉතින් එතකොට තේ වෙලාව ඇවිත්. ඒක නිසා අපි දවල් කෑම කාල ඒ ගමන්ම තේ එකත් බොන්නයි පුරුදු වෙලා හිටියෙ. දවසක් ආන්ටි ඇහුව දවල්ට බත් කන්නෙ හවස නිසා පන්ති තියෙන දවස් වලට තේ ඕනෙ නෑ නේද කියල. ඒත් අපි කිව්වෙ කමක් නෑ. බත් කාපු ගමන් තේක බොන එක අවුලක් නෑ කියල.මොකද බතුත් කාල තේකත් බිව්ව කියල අමතර පෝශනයක් ලැබුනේ නෑ ඒ දුන්න කෑම වලට.කොහොම උනත් ආන්ටිට අපිව පෙනුනෙ පෙරේතයො ටිකක් වගෙයි. දවසක් එයාගෙ දුව කෝල් කරල අපේ හැසිරීම ගැන අහද්දි ආන්ටි කිව්වෙ 'මේ ළමයි දවල්ට බතුත් කාල තේත් බොනව' කියලයි. අපේ යාළුවෙක්ගෙ අම්ම ආව දවසකත් එහෙමම කියල තිබ්බ. පස්සෙ ඒ ආන්ටිත් මගෙ යාළුවගෙන් ඇහුව තේක ඕනෙමද මෙහෙම කතා කියද්දි කියල. ඌ එක හඩින්ම කියා හිටියෙ ඕනෙ කියල. එහෙම කිව්ව කියල අපි කට්ටියට කවදාවත් ලැජ්ජාවක් හිතුනෙ නෑ. අපේ ගෙදර අයට ඕක කිව්වොත් ලැජ්ජ හිතෙයි කියල මන් ගෙදර ගිහින් කිව්වෙත් නෑ. සමහර අවාසනාවන්ත දවස් තිබුන හවස පන්ති ඇරිල එනකොට තේ නෑ. ආන්ටි තේ බෝතලේ අස්කරල. කොලිටිය අඩු උනත් ඒ තේ එක හවසට නැති උනහම අපිට හරිම අප්සෙට්. දවසක් මගෙ යාළුවෙක් එහෙම වෙලාවක තේක ඉල්ලුවම ආන්ටි කිව්වෙ වෙලාවට වැඩ කරන්න කියල. ඒ කොහොම උනත් මන් ඉල්ලුවොත් නම් ආන්ටි තේ එක හදල දුන්න මොකුත් නොකිය. මන් හිතන්නෙ ඒ වෙද්දි බිත්තරයි, මසුයි කන එක නවත්තපු හින්දද කොහෙද. ඒ දවස්වල උදේට හවසට ඒ ලා කොල පාට තේ ප්ලාස්ක් එක කෑම මේසෙ උඩ තියෙනව දැකීම අපේ එක පොඩි බලාපොරොත්තුවක්.

බෝඩිමේ ජීවිතෙ ඔහොම ගෙවෙද්දි දවසක් අපිට ආරන්චි උනා පාන්දර උදේට විතරක් පේන තරු පන්තියක් ගැන. ඉතින් අපි ආන්ටිටත් කියල දවසක් උදේ හතරට විතර එලියට බැස්සෙ ඒ තරු ටික බලන්න. ආන්ටිත් ආව. උදේ නැගිට්ටට පාඩු නෑ කියල හිතුනෙ ඒ තරු ටිකේ ලස්සන දැක්කමයි. මට මතක නෑ ඒවයෙ විශේශත්වය. කොහොම උනත් අපි ඔක්කොටම මාර සතුටුයි කලට වෙලාවට පැහැදිලි අහසක ඒ තරු ටික බලන්න පුලුවන් උන එක ගැන. ඉතින් එදා අපි ගොඩක්ම උදේ නැගිටපු හින්ද ආන්ටි අපිට තේ හදල දුන්න තරු බලල ආවහම.
ඊට පස්සෙ ස්කොලෙ යන වෙනද වෙලාවටත් සුපුරුදු තේ එක හම්බුන. කට්ටියටම හෙන හැපී හම්බුන තේ බෝනස් එකට. ඊට දවස් කීපයකට පස්සෙ අපි ආයෙ කතා උනේ තවත් උදේක බොරුවට ආන්ටිත් එක්ක තරු බලන්න යන් කියල. ඉතින් අපි කට්ටිය ආයෙමත් දවසක් උදේ පාන්දරින් නැගිටල මොකක්දෝ තරු වගේක විස්තර ටිකක් ආන්ටිට කියල එලියට බැස්ස.එදා ඉතින් සාමන්‍ය තරු ටික තමයි තිබුනෙ. කොහොම උනත් ප්‍රශ්නයක් උනේ නෑ මොකද අපේ දවස් දෙකෙන් එක දවසක් ගොඩ ගිහින් තිබුන හින්ද. එදා උදෙත් ආන්ටිගෙන් අපිට බෝනස් තේ එකක් ලැබුන. අපේ එවුන්ට රටක් රාජ්ජයක් ලැබුන වගේ සතුටුයි ඒ ලබපු ජයග්‍රහනයට.
එදා ඒ කරපු වැඩේ දැන්නම් මන් අනුමත කරන්නෙ නෑ. ජොලියට කලත් ඒ කරපු වැඩේ වැරදියි කියල මන් පිලිගන්නව. ඒ දවස්වල එහෙම නොහිතුනේ ඇයිද මන්ද? ආන්ටිගෙ වයසත් එක්ක ලෝභකන් අඩු වෙන්න අපි කටයුතු කරන්න ඕනෙ කියලයි බෝඩිමෙ හිටපු අපේ ලොක්කියො ටික හිතුවෙ. ඉතින් ඒ අමතරව අපිට හම්බුන දෙයත් ඒ ආන්ටිට වෙච්ච සෙතක් වගේ තමයි අපි දැක්කෙ. මොනව උනත් එහෙම හිතුවෙ කලේ ඒ කාලේ තිබුන පිස්සු ගතියට තමයි.

ඒ ලෙවෙල්ස් ඉවර වෙලා ගොඩක් කාලෙකට පස්සෙ මට ඒ ආන්ටිව හම්බුනා බොරැල්ල ටනල් එකේදි. හොදටම දුර්වල වෙලා වයසට ගිහින් හිටියෙ.මන් කතා කලාට එයාට මාව මතක නෑ. මොකද අවුරුද්දෙන් අවුරුද්දට ළමයි ගොඩක් එහෙ නැවතිලා හිටියා.මන් විස්තර ඇහුවම කිව්වෙ ලේ බලාගන්න හොස්පිටල් ගියා කියල. වයස වැඩි හින්ද මන් කිව්ව 'ආන්ටි තනියම ගමන් බිමන් යන්න එපා' කියල.
--එතකොට එයා අහස දිහා බලල කිව්වෙ එයත් එක්ක එයා අදහන දෙවියො ඉන්නව කියල. එයාගෙ ළමයි ටික වෙන වෙන රටවල තමයි හිටියෙ. හොද වන්ශවත් පවුලක්. බාලම පුතා කිය කිය හිටියෙ ඒ දවස්වල ආන්ටිව ඒ රටට ගෙන්න ගන්නව කියල. ආන්ටිත් ගොඩක් බලාපොරොත්තු තියන් හිටියෙ ඒ රටට යන්න. ඒත් ඒ මොකුත් වෙලා නෑ කියල මට තේරුනේ  ඒ ආන්ටිගෙ ඇස් අග දැවටි දැවටි තිබුන කදුළු දැක්කමයි. එදා දවසම ආන්ටිගෙ මතකයන් ඔලුව වහගෙන තිබුනෙ පාළු ශෝක හැගීමක් එක්ක. අපි ඒ දවස්වල බෝඩිමේදි කරපු වැඩත් මතක් වෙලා ආන්ටි ගැන ලොකු දුකක් ඇතිඋනේ. ඒ රටවලට එක්ක යන්න බැරිනම් හරි හමන් කෙනෙක් තමන්ගෙ දෙමව්පියන් බලාගන්න තියන්න තරම්වත් අද සමාජය කාරුණික වෙලා නෑ නේද කියලයි මට හිතුනෙ.

කොහෙ හරි ගිහින් ආව ගමන්ම කිරි තේ එකක් බොන පුරුද්දක් තමයි තිබුනෙ. ඒ හින්ද ගෙදර ආව වෙලේ ඉදල අම්මට කරදර කලේ ඉක්මනට තේකක් බොන්න දෙන්න කියල. අම්ම වෙන වැඩක ඉන්න සමහර වෙලාවට එහෙම ඉල්ලද්දි එයාට හෙනටම කේන්ති යනව. දවසක් මට කිව්ව බහින්න් බස් හෝල්ට් කීපෙකට කලින් එයාට කියන්න එයා තේක හදල තියන්නම් කියල. ඒත් එක්කම කියන්නෙ ඔච්චර හදිස්සිනම් හදාගෙන බොන්න කියලයි. ඒ කොහොම උනත් ඉතින් අම්ම අතින්ම තේක හදන් බොන්න තමයි ඒ දවස්වල හුරු වෙලා හිටියෙ.


කිරි තේ හදන්න ගන්න පිටිකිරි වල තත්වෙ අද කතා කලොත් කියන්න තියෙන්නෙ ඒ නිසා හැදෙන ලෙඩ රෝග ගොඩක් ගැනයි.බොහොම භයානක සමහර ලෙඩ කීපෙකටම මුල් වෙන්නෙ සමහර පිටිකිරි කියලයි කියන්නෙ. ඒ මොන වස විස තිබුනත් අපේ ලන්කාවට ගෙන්වන්න මෙහෙ දේශපාලනය කරන ගොඩක් අයගෙන් බාධාවක් නෑ එයාලට ඒවයෙන් ලැබෙන කොමිස් මුදල හින්ද. කවුරු මොනව කිව්වත් කලත් අපි හරි දේ දැනගෙන අනවශ්‍ය දෙයින් වැලකුනානම් හරි කියලයි මට හිතෙන්නෙ. විශේශයෙන් පොඩි ළමයින්ට දෙන්න පුලුවන් උපරිම කාලයක් මවු කිරි දෙන එක තමයි මේ තත්ව යටතෙ නුවණට හුරු වෙන්නෙ. දවසක් මන් කකුලෙ තුවාලෙකට බෙහෙත් ගන්න ගිය වෙලේ එතන හිටපු ඒ ඩොක්ට කිව්වෙ ඒ වගේ තුවාලෙකට මට සිහි ඇද නොවැටී ඉන්න පුලුවන් උනේ පොඩි කාලෙ අම්ම තාත්ත දුන්න කෑම බීම වල හොද කම හින්ද තමයි කියල.

25. විනෝද චාරිකා

පවුලෙ අයත් එක්ක මුලින්ම ගිය විනෝද චාරිකාව මොකක්ද කියල නම් මට හරියට මතක නෑ . ඒත් ඉස්සර අනිවාර්යෙන්ම දෙසැ...