Wednesday, 27 March 2019

21. සාප්පු සවාරි





















මේ මුලු ජීවිත කාලෙටම කරපු සාප්පු සවාරි කොච්චරක්ද කියල හිතා ගන්න බැරි උනත් ඒ හා සම්බන්ද මතක සටහන් කීපයක්ම තියෙනව. ඒවයින් ගොඩක්ම ඒව ගැන තියෙන්නෙ හිනා යන වගේම හරිම වෙහෙසකර මතක සටහන්. කොච්චර ආසාවෙන් යන්න ලෑස්ති උනත් ආපහු බොහෝ දුරට ගෙදර එන්නෙ ඔළුව කැක්කුමක් හදාගෙන. එහෙමත් නැත්නම් පාන් කියාගන්න බැරි තරමට මහන්සි වෙලා. ගන්න වෙලාවට හොදයි වගේ පෙනුන ඒත් ගෙදර ගෙනාවම කැතට පෙනුන දේවලුත් මේ අතරින් වරදින්නේ නෑ. ඉතින් ගත්ත දේවල් ගැන සීයට පනහක හැටක වගේ කැමැත්තක් තමයි අන්තිමට තියෙන්නෙ. සමහර ඒව ආයෙමත් මාරු කරන්න ඕනෙ කියල හිතනකොටත් කකුල් දෙක රිදෙන්න ගන්නව.

ජීවිතේ මුලින්ම සාප්පු සවාරි යන්නෙ අම්මයි, නන්ගියි එක්ක තමයි. තාත්ත අපිව එක්කගෙන යන්න ආවට එයා අපිත් එක්ක ශොපින් කරන්න එන්නෙ නෑ. මොකද ඉතින් එයා දන්නව ඒක පැය ගානක කට්ටක් කියල. ඒක හින්ද ගොඩක් වෙලාවට තාත්ත වාහනේට වෙලා ඉන්නව අපි එනකන්. සමහර වෙලාවට අපි එද්දි නිදාගෙන ඉදල කියනව හොද නින්දක් දැම්ම කියල. ඒ වෙලාවට අම්මටත් හොදටම ඇති වෙලයි ඉන්නෙ. ඉතින් හැම සැරේම අම්ම කියන්නෙ අපිත් එක්ක ආයෙ එන්නෙ නෑ කියලයි. එහෙම කිව්වට හැම සැරේම අම්ම ආව අපි පොඩි කාලෙදි. ඉතින් අම්ම එක්ක ගියාම නන්ගිටයි මටයි උපරිමයෙන් යන්න පුලුවන් වෙන්නෙ කඩ තුන හතරකට වගේ තමයි. ඒත් එක්කම එකම කඩේ ඇතුලෙ අපි එකම ඇදුම් ටික දෙතුන් පාරක් බලන පුරුද්දත් අම්ම ඉවසුවෙ නෑ. එයා කිව්වෙ තව පාරක් බැලුවත් තියෙන්නෙ කලින් බලපු ඇදුම් ටිකම තමයි කියල. කතාව ඇත්ත උනාට අපි කිව්වෙ මිස් උන හොද ඒව ඒ අතර තියෙද කියලයි බැලුවෙ කියල.

පස්සෙ ටිකක් කල් යද්දි නන්ගියි මමයි තනියෙම ගියා. ඉතින් අපි කැමති වෙලාවක් එකම කඩේ ඇතුලෙ ඉදල ශොපින් කලා. අපි කඩවල් දහයකට දොලහකට ගිහින් අපිට ඕනෙ දේවල් තේරුව. එයත් එක්ක ශොපින් කරන එකේ අවුලක් තිබුනෙ නෑ. කොහොම උනත් ගෙදර එනකොට හෙම්බත් වෙලයි ආවෙ. එහෙම ආව දවසට  ගෙදර ආව ගමන් මුලින්ම කලේ ඇදුම් ටික අම්මට පෙන්නන එකයි බිල් එක අපි දෙන්නට වියදම් උන ප්‍රමානෙට බෙදා ගන්න එකයි. ඉතින් අම්මට පෙන්නද්දි තමයි හොදම ප්‍රතිචාරෙ ලැබෙන්නෙ. කාලයක් මන් නිල් පාටෙම එක එක ප්‍රභේද වලින් තමයි ඇදුම් ගත්තෙ. ඇදුම් පහක් ගත්තොත් ඔක්කොම වගේ නිල් පාට තමයි. ඉතින් ඒ දවස්වල ශොපින් යන්න ලෑස්ති වෙනකොටම අම්ම කියන්නෙ නිල් පාටින් තව මොනව හරි ගෙනාවොත් ඉරල වීසි කරනව කියල. ඔය වගේම වොර්නින්ග් එකක් ආයෙ හම්බුනේ අපේ ආච්චි අම්මගෙන්. එයා කිව්වෙ කළු පාටින් ගෙනාවොත් එයා වීසි කරනව කියල.එයාගෙ ඇස් පෙනීම ඒ දවස්වල ටිකක් අඩු හින්ද තද දුඹුරු, තද නිල්, කොළ ඔක්කොම වගේ පෙනුනෙ කළු පාටට.ඒත් එක්කම දෙන්නම කිව්වෙ ගිය තැන්වල පැල වෙන්නෙ නැතුව පුලුවන් ඉක්මනට එන්න කියලයි. ආයෙ ආවම ගත්ත ඒව දිහා බලල කිව්වෙ දවසම වගෙ ගිහින් ගත්තෙ මේ ටිකද කියලයි.

ඒ ගොල්ලන්ගෙ එක එක විදිහෙ කමෙන්ට්ස් අහන එකත් හරිම දුකක් වෙලයි තිබුනෙ. එක හින්ද පස්සෙ පස්සෙ අපි කලේ ඒගොල්ලො අකැමැතියි කියල හිතෙන දේවල් එයාලට පෙන්නන්නෙ නැතුව හිටපු එකයි. පස්සෙ ඒව ඇදගෙන යද්දි තමයි කිව්වෙ මන් මේක දැක්ක නෑනෙ. 'අපෝ හිර වැඩියි ඇගට, කර කපල වැඩියි හොදටම, ඔය පාට කැතයි වගේ දේවල් තමයි ඒ වෙලාවට අහගන්න සිද්ද උනේ.

අපේ පවුලෙ අයගෙන් ශොපින් යන්න හොද කෙනෙක් උනේ අපේ බාප්ප. එයා අනික් අය වගේ චුරු චුරු ගෑවෙ නෑ වෙලා ගියාට.අපිත් එක්ක කඩවල් විස්සකට උනත් ආව.ඒක හින්ද සමහර වෙලාවට තාත්තයි ලොකු තාත්තයි අපිව ශොපින් යැව්වෙ බාප්පත් එක්ක.බාප්ප එයාට දෙයක් ගන්න ගියත් වරුවක් තෝරල ගන්න කෙනෙක්. මොන දේ ගන්න ගියත් එහෙමයි. ඉතින් තාත්ත එක්ක ගමනක් යද්දි තාත්ත බැරිවෙලාවත් බාප්පව කඩේකට යවන්නෙ නෑ. දවසක් පිට පළාතකින් මාළු වගයක් ගන්න ගිහින් බාප්ප පැයක් විතර ගිහිල්ලත් ආපහු ආවෙ නෑ. පස්සෙ එතන ඉන්න කෙනෙක්ගෙන් ගුටි කාලද දන්නෙ නෑ කියල තාත්ත හොයන්න ගියා.තාත්ත යනකොටත් බාප්ප මොකුත් අරන් නෑ. ඇදුම් ගන්න වගේ කඩවල මාළු බල බල ඉන්නවලු. පස්සෙ බැනල එක්ක ඇවිත් තිබුන.

ලොකු තාත්ත එක්කත් මමයි අපේ කසින් නන්ගියි දවස් දෙකක් වගේ ඇදුම් ගන්න ගියා. ඒ ගියෙ කාගෙහරි වෙඩින් එකකට. ඉතින් ලොකු තාත්තට ඕනෙ උනේ ගිය පළවෙනි කඩෙන්ම ඕනෙ කරන ඔක්කොම ටික ගන්නයි. ඒකත් හරිම ඉක්මනට කෙරෙන්න ඕනෙ උනා. ඉතින් නන්ගියි මමයි ටිකක් වෙලා ගනිද්දි යන් යන් කියල කෑගහනව එයාට එදා දවසට කරන්න තියෙන වැඩ ලිස්ට් එකත් ඒ එක්කම මතක් කරනව.පස්සෙ නන්ගියි මමයි කලේ ලොකු තාත්තව දැක්කෙ නෑ වගෙ ඇදුම් තෝරපු එකයි.ලොකු තාත්ත අපි ඉන්න කිට්ටුවට එනකොට අපි කලේ තව තැනකට යන එකයි. කොහොමහරි ආපහු එනකොට හොදටම තද වෙලයි හිටියෙ.


ඒ කසින් නන්ගි එක්ක ශොපින් කරන එක ලේසි උනේ නෑ. පොඩි ඩෙයක් උනත් ගත්තෙ ඒකෙ මිලත් එක්ක තව ගොඩක් දේවල් සන්සන්දනය කරලයි. ඉතින් දවසක් මන් මෙයත් එක්ක සපත්ත් ගන්න කඩවල් දහයක විතර ඇවිද්ද. කකුල් දෙක පන නැතිවෙනකන් ගිය හින්ද අතර මගදි තව පැයක් විතර නැවතිල කෑම කෑව. ඔහොම යද්දි අපි ගිය එක කඩේක හිටිය පිරිමි ළමයෙක්. පොර බොහොම උනන්දුවෙන් සපත්තු විස්සක් විතර ගෙනත් පෙන්නුව. සමහර සපත්තු දාන්නත් උදවු කලා. අන්තිමේදි මේ මනුස්සයට ඇති වෙලයි හිටියෙ. කොහොම උනත් මෙයාට ගන්න තරම් දෙයක් එතනත් හොද උනේ නෑ. ඒ තැන තව සපත්තු කඩ කීපයක්ම තිබුන. ඉතින් ඔය හැම එකකටම වගේ ගිහින් අපේ කසින් නන්ගි අර කඩේටම ආව වෙන දොරකින්. ඒ කොල්ලව දැක්කම තමයි අපි දැනගත්තෙ කලින් ආව කඩයක්මයි කියල. හොදම වැඩේ වෙන්නෙ අපිව දැක්ක ගමන් පොර කිව්ව ඔයාල කලින් ආව කියල. ඒ වෙලාවෙ අපිට හිනා ගියත් ඒ පිරිමි ළමය පොඩ්ඩක්වත් හිනා උනේ නෑ. මන් හිතන්නෙ ඌට අපිව එපාම උනා.කඩේට ආව කස්ටමස්ල දෙන්නෙක් නේද කියලවත් හිතන්න එපායෑ. මුන් වගෙ කස්ටමස්ල නම් ඕනෙ නෑ කියල හිතන්න ඇති.

Monday, 11 March 2019

20. බෝර්ඩිම - කොටස් 02

















ස්කෝලෙ යුනිෆෝම් එක ලස්සනට අයන් කරන වැඩෙත් හරියටම කලේ බෝඩිමේදි තමයි. මොකද ගෙදරදි ඒ ටික කවුරුහරි කරල දුන්න. ඒත් ස්කෝලෙ විශේශ වැඩක් තියෙන දවස්වලට බෝඩිමේ හිටපු ෆ්‍රෙඩෙක් තමයි හොදට ගවුම අයන් කරල දෙන්නෙ. ඌ හිතලම තමයි මන් වෙනුවෙන් ඒ සේවාව සපයන්නෙ.ඌම හිතල කලා උනත් බැන බැන තමයි කරන්නෙ. ගොඩක්ම නිදිමත වෙලාවට නෙට් එක නොදාම නිදා ගනිද්දි ඌම තමයි බැන බැනා පොරවල නෙට් එක දාල යන්නෙත්.තව දවසක මන් යන්න පාර දන්නෙ නැති තැනක තිබුන ටියුශන් පන්තියකට පලවෙනි දවසෙ එක්කන් ගියෙත් ඌ තමයි. ඒ කාරුණික වැඩ හින්ද අපි ඌට කිව්වෙ බෝඩිමේ අම්ම කියල. අපිට හිටපු හිත හොද එකා. බෝඩිමෙන් ආවට පස්සෙ අවුරුදු කීපයක් යනකන් කන්ටැක්ට්ස් තිබුනත් පස්සෙ කට්ටිය ආගිය අතක් නැති උනා. ඌ දැන්නම් කොහොමත් අම්ම කෙනෙක් වෙන්න ඇති.

අපිත් එක්ක හිටපු අනික් විශේශ කෙනා වෙන්නෙ ඕනෙම දේකදි බර කරට අරන් අක්ක කෙනෙක් වගේ වැඩ කරපු කෙනා. එයා ඉන්න එක අපිට ලොකු ශක්තියක් උනා. කොල්ලෙක් වගේ විදුලි වැඩ, යන්ත්‍ර සූත්‍ර වැඩ එයාට පුලුවන්. ආන්ටි අකැමැතිමත් ඌට. හැබැයි මොනවහරි කැඩුනොත් ශේප් එකේ කතා කරන්නෙත් ඌට තමයි. ඉතින් ඉදල හිටල දවසක වතුර නැතිවෙනව බෝඩිමට. ඉතින් ඌ තමයි ළිදෙන් වතුර ඇදල දෙන්නෙ. වතුර අරන් එන්නෙ. අපි ඔක්කොම ඒ වැඩේ කලත් එහෙම දේකදි ඌ තමයි එතෙන්ට පෙරමුන ගන්නෙ.අනික් දේ තමයි වතුර නැතිවෙන හැම වෙලේම ඌට කීප සැරයක්ම ටොයිලට් යන්න ඕනෙ වෙන එක. ඉස්සර අපි කට්ටිය ඇදුම් මාරු කරගෙන ඇන්ද. මන් ලග තිබුන සායකට මෙයා හරි කැමතියි. කීප දවසක්ම පන්ති ඇන්ද. දවසක් පොර තව යාළුවො කට්ටියක් එක්ක මගෙ ඒ සායත් ඇදගෙන ගියා ෆිල්ම් එකක් බලන්න. එහෙම යද්දි ස්කොලේ මැඩම් කෙනෙක් ඉන්නව දැකල ආපහු ආව. මට බැන බැන ආවෙ මගෙ සාය ඇදන් ගිය හින්ද ගමන වැලකුනා කියල.

අපිත් එක්ක හිටපු තව කෙනෙක් තමයි 'හොට්ටා'. වාස් කියලත් කිව්ව. 'හොට්ට' කිව්වෙ හැම වෙලේම වගේ හෙම්බිරිස්සාව හින්ද. වාස් කිව්වෙ එයා හෙන කැමැත්තෙන් හිටියෙ ඒ කාලෙ අපේ ක්‍රිකට් ටීම් එකේ හිටපු 'චමින්ද වාස්ට.පොරගෙ ඇදේ තිබුන කොට්ට දෙකෙන් බදා ගෙන නිදාගන්න කොට්ටෙට කිව්වෙ 'වාස්' කියල. අපේ කට්ටිය අතරින් ඌට තමයි ඒ දවස්වල මගුල් ප්‍රශ්න තිබුනෙ. පස්සෙන් එන කොල්ලෙක් එක්ක යාළු වෙනවද නැද්ද කියන එක තමයි හිතුවෙ. හිටපු අනික් අය ගැනනම් කියන්න විශේශයක් නෑ. උන් සාමන්‍ය විදිහට හිටිය.

ඉතින් බෝඩිමේදි වෙච්ච හිනා යන සිද්දි ගොඩක් තිබුන. පෙරහැරක් තිබුන දවසක තමයි ආන්ටිට වැඩ ගොඩක් වැඩි උනේ. එදා අපිටත් හරිම ජොලි. එක එක දේවල් කකා බිබී අපි පෙරහැර බැලුවෙ. චිලි චිලි ගාල සද්දෙ එන ලොකු බැලුම් අපි කට්ටියටම එක ගානේ ගත්ත. පස්සෙ ඒව අපි අපේ ඇද ලග එල්ලල තිබ්බ. ආන්ටිට එදා තිබ්බ ලොකුම වැඩේ උනේ අපි කට්ටියව එයාගෙ ඇස් මානෙ තියන් පෙරහැර බලන එකයි. මොක්ද කොල්ලො කීප දෙනෙක්ම බෝඩිමේ හිටපු නන්ගි දිහා බල බල හිටියෙ. අපේ කීප දෙනෙකුටම ෆෝන් නම්බර්ස් ලියපු චිට්ස් හම්බුනා කොල්ලො කීප දෙනෙක්ගෙන්. එතන හිටපු එක කොල්ලෙක් මන් දිහා බලල කිව්වෙ 'මෙයාගෙ කොන්ඩෙ නැති හින්ද මෙයාට දීල වැඩක් නෑ' කියල. ඒ දවස්වල මන් කොල්ලෙක් වගේ කොන්ඩෙ කොටට කපල හිටියෙ. ඉතින් එදා ආන්ටි අදුරන අය කීප දෙනෙකුත් එනව කියල තිබුන හින්ද එදා රෑ කෑම එයා හොදට හැදුව.මස් උයල තවජාති කීපයක් එක්ක බත්, ඉදි ආප්ප, ආප්ප තිබුන. මන් වෙනුවෙන් එයා සීනි සම්බෝලයක් හැදුව.

බෝඩිමේ හිටපු හැමෝටම වඩා ආන්ටි මට ආදරෙන් සැලකුව. එයාගෙ නීති රීති මන් අතින් එහෙ මෙහෙ උනාට මට කෑගැහුවෙ නෑ. අනික් උන්ව නම් මරන් කාපු නැති ටික විතරයි. සමහර දවස්වලට උන්ගෙ ගෙවල් වලටත් කෝල් කරල කිව්ව. අපේ අම්මයි තාත්තයි ආවම මන් ගැන් මොකුත් පැමිනිලි නෑ. අපේ තාත්ත ආවම 'ලොක්කෝ' කියල මට කතා කරන්නෙ. ඒත් ආන්ටි මොකුත් කියන්නෙ නැතුව හිනා වෙවී එලියට එනව. නැත්නම් එයා කැමති නෑ එයගෙ ගෙදර ඇවිත් එලියෙ ඉදල අනික් අයට අඩගහනවට. මන් තාත්තට කොච්චර කිව්වත් එහෙ ගිහින් ගෙයි දොරකඩ ඉදන් මට කථා කරන්න එපා කියල වැඩක් උනේ නෑ. ගොඩක් වෙලාවට සති අන්තෙ අපි කවුරුත් බෝඩිමේ හිටියෙ නෑ. ඒත් ඉදල හිටල ඉන්න වෙච්ච වෙලාවලුත් තිබුන ටියුශන් පන්ති හින්ද. එහෙම දවසක අපේ කට්ටියම ගිහින් මන් විතරයි හිටියෙ. මන් රෑ කාමර දෙකේම ලයිට් දාගෙන හිටියෙ එදා. ඒත් ආන්ටි මොකුත් කිව්වෙ නෑ. උන හැදිල දවසක් ඉන්නකොට කසාය එකක් හදාගෙන ඇවිත් බොනකන්ම හිටිය ඒක නොබී විසි කරයි කියල. මන් එයා වෙනුවෙන් කියල විශේශ හොදක් නොකලත් අනික් උන්ට වඩා මන් ගැන බැලුව.

ආන්ටිගෙ පුතා ලන්කාවට එද්දි අපි හැමෝවම ආන්ටි ගෙවල් වලට යැව්ව. ඉතින් අපි හිටපු අවුරුද්දෙ සති දෙකක් විතර බෝඩිම තහනම් කලාපයක් වෙලා තිබුනෙ. පුතා එනව කිව්වම ආන්ටි ගොඩක් ලෑස්ති උනා එයාව පිළිගන්න. ගෙදර තින්ත ගාල, මේස පුටු පොලිශ් කරල ගෙදර ලස්සන කරල තිබ්බ. එය තමන්ගෙ ළමයි වෙනුවෙන් කරපු කැපකිරීම් දැක්කම සමහවෙලාවට අපිට පුදුම හිතුන. මොනව උනත් අම්ම කෙනෙක්ගෙ කරුණාව තමයි ඒ වැඩවලින් පෙනුනෙ. තමන්ගෙ ළමයින්ගෙ සතුට, සුභ සිද්දිය උදෙසා එයත් දුක් වින්දා. ගොඩක් ප්‍රශ්න තනියෙම දරාගත්ත කියල මට හිතුනෙ පස්සෙ ඒව ගැන හිතනකොටයි.

ඉතින් අපි නටපු සමහර පිස්සු වැඩවලට ආන්ටිටත් පිස්සු හැදුන කිව්වොත් වැරදි නෑ. අපේ මේ බෝඩිම පාර අයිනෙම තිබුන හින්ද අපේ කට්ටියගෙ පුරුද්දක් තිබුන එතන තිබ්බ ජනේලෙකින් පාර දිහා බලන් ඉන්න. ආන්ටි කියල තිබුනෙ එතන ඒ ජනේලෙ අරින්න එපා කියල. ඉතින් කට්ටිය දවසක් දාඩියයි කියල ඔතන ජනේලෙ ඇරන් හිටිය. ඒ අතරෙ ඔතනින් යන එන අය දිහත් බල බල තමයි හිටියෙ. එහෙම ඉන්නකොට අපේ පන්ති ආව පිරිමි ළමයෙක් ඔතනින් ගියා. අපේ එකෙක් දැන් හෙන චැට් එකක දාගෙන ඉන්නව ඒ කොල්ලත් එක්ක ජනේලෙන් ඔලුව දාගෙන. අපේ වෙලාව හොද හින්දා ඒ වෙලාවෙම ආන්ටි වැඩේ දැක්ක. එයාගෙ තරහ වැඩි කමට කටට වචන ආවෙ නෑ. කටින් 'බොහ් බොහ්' ගාල සද්දයක් විතරයි ආවෙ.ඇස් දෙක ගිනි පුලුගු දෙකක් වගේ ලොකු වෙලා දිලිසුනා. එයා එතනට එද්දි මගෙ පපුව සීතල වෙලා ගියත් ඒක දකිද්දි මට හිනා මැරෙන්න.එයා ඒ වැඩේ දැකල විනාඩි කීපෙකින් පස්සෙ තමයි යතා තත්වෙට ආවෙ.ඊට පස්සෙ තමයි අපිට බනින්න පුලුවන් උනෙත්.කොහොමහරි බැනල බැනල ගියාට පස්සෙ කට්ටියටම මැරෙන්න හිනා ඒ ආව 'බොහ් බොහ්' සද්දෙට. පස්සෙ අපි ඒත් හිතුවෙ එච්චර තරහ ඇවිත් බැරිවෙලා හරි ප්‍රෙශර් වැඩි උනානම් කියල. මොකද ඉතින් තරහ ගන්න එපා ආන්ටි කියන්නයෑ.එහෙම කිව්වනම් ලග තියෙන අතට අහු උන දේකින් තමයි ගුටි කන්න වෙන්නෙ.සතියක් විතර යනකන් මතක් වෙන හැම සැරේම අපි ඔක්කොටම බැන්න. අපේ ගෙවල් වලටත් කියනව කියල කිව්වට එහෙම කලේ නෑ.එයාට හිටපු අන්තිම නරක ළමයි කට්ටිය අපි කියල තමා එදා එයා අපිව වර්ග කලේ.


එහෙදි උන තවත් අමතක නොවෙන සිද්දිය තමයි එහෙ ඇති වෙච්ච ගින්න. ඒ දවස්වල දොස්තරලට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න එපා කියල මොකක් හරි දෙයක් තිබුන. එහෙම තියෙද්දි අපිට අල්ලපු ඩිස්පැන්සරියෙ හිටපු ඩොක්ට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කලා කියල කවුද කට්ටියක් එතෙන්ට ගිනි තියල. කොහොමහරි එදා බෝඩිමේ හිටියෙ මමයි තව එක්කෙනෙකුයි. කට්ටිය අඩු හින්ද එදා මන් නිදා ගන්න ඇද මාරු කලා. එදා රෑ හීනෙන් වගේ ගින්දර ගොඩක එලි පේනකොට මට ඇහැරුන. එහෙම බලද්දි තමයි මට එහා පැත්තෙ කාමරේ ගිනිගන්නව දැක්කෙ. මන් එදා ඒ ඇදේ නිදා නොගත්තනම් ඒ ගින්න දකින්න හම්බවෙන්නෙ බෝඩිම ගිනි ගන්නකොටයි. ඉතින් මම යාළුවාවත් ඇහරවගෙන ආන්ටිට ගිහින් කිව්ව. පස්සෙ අපි ඒ ලග පාත තිබුන බඩු ටික ඔක්කොම අස් කලා. කොහොම උනත් ගින්දර අපේ පැත්තට පැතිරුනේ නෑ. ඒ අතර ආන්ටි කෝල් කරල පොලිසියෙනුත් ඇවිත් හිටියෙ. ඒ ආව අය කිව්ව වතුර දෙන්න කියල ගින්න නිවන්න.ඒ දවස්වල ආන්ටි රෑට වතුර වහනව. කොහොමහරි ඊට පස්සෙ තමයි ආන්ටි රෑට වතුර වහන වැඩේ නැවැත්තුවෙ.ඒත් එක්කම ගින්න දැක්කෙ මන් හින්ද මටත් ගොඩක් එයා ස්තුති කලා.

Thursday, 7 March 2019

19. බෝර්ඩිම - කොටස් 01





















කලින් කථාවෙ බෝර්ඩිම ගැන් ටිකක් වැඩිපුර කථා ටිකක් ලියපු හින්ද මන් හිතුව මේ කථාවෙන් බෝඩිම ගැන ලියන්න. බෝඩිම ගැනත් ලියන්න කතා ගොඩක් තියෙන හින්ද මන් හිතුව කොටස් දෙකකට ලියන්න. ඒලෙවෙල් කරන්න ගිය ස්කෝලෙට ගෙදර ඉදන් කිලෝමීටර් විස්සක් විතර තිබුන හින්දයි ගොඩක් වෙලාවට හවස පන්ති තිබුන හින්දයි අපේ ගෙදර අය මාව විභාගෙ කිට්ටුවෙලා ස්කෝලෙ ලගම බෝඩිමක නැවැත්තුව. අපේ තාත්තගෙ යාළුවෙක් තමයි එතන හොයල දුන්නෙ. ඒ ගෙදර පරණ වලව්වක්. එතන හිටපු ආන්ටිගෙ හස්බන්ඩ් නැති වෙලයි හිටියෙ. එක ළමයෙක් ඇරෙන්න එයාගෙ ළමයි ඔක්කොම හිටියෙ පිටරට වල. ඒක නිසා එයාගෙ තනිවට තමයි ගෙදර ස්කෝලෙ යන ළමයි නවත්තගත්තෙ. ඒ වෙද්දි මට වයස අවුරුදු දාහතක් වගේ. ඒ අවුරුදු දාහතට අපේ ස්කොලේ ප්‍රින්සිපල් මැඩම්ට අමතරව මට හම්බුන ස්ට්‍රික්ට්ම ගැහැණු මනුස්සය ඒ ආන්ටි කිව්වොත් හරි. කොහොම නමුත් එතන ඉන්නකොට එයාගෙ නීති රීති එක්ක අපිව හොදටම හැදුන කිව්වොත් ඒත් හරි.

ලොකු ඉඩ ප්‍රමානෙක ඒ වලව්ව මුලින් තිබුනත් පස්සෙ කොටස් කීපයක් කඩ කීපෙකටයි ඩිස්පැන්සරියකටයි දීල තිබුන. එහෙම දුන්න උනත් ඒක ලොකු ගෙයක්. ඉතින් මුලින්ම කොච්චර ලොකු ගෙයක්ද කියල හිතාගන්න පුලුවන්. ආන්ටි කිව්වෙ ළමයි කාටවත් ඒ ගෙදරින් වැඩක් නැති නිසා එයාට ඒ ඔක්කොම නඩත්තු කරන්නත් බැරි හින්ද එහෙම දුන්න කියල. බොර්ඩිම කරන දවස්වල එයා ඉන්ග්‍රීසි පන්ති කලා.කොහොම නමුත් එයාගෙ වයසෙ හැටියට වඩා වැඩ කොටසක් කලා. ශක්තිමත් දිරිමත් කුල කාන්තාවක් කියල කියන්න පුලුවන්.

මන් ගෙදරින් පිට ඉන්න පළවෙනි වතාව උනේ මේ බෝඩිමේ නැවතීම තමයි. මාව බෝඩිමට එක්කන් යන්න අම්මයි, තාත්තයි, නන්ගියි තුන්දෙනාම ආව. කටිටිය මාව එතන නවත්තල ආපහු යද්දි මට හරිම අවුල්. ඉවසගන්න බැරි දුකක් දැනුනෙ. උගුර හිරවෙලා මැරෙන්න යනව වගේ දැනුනෙ. මාව බෝඩිමේ දාල එනකොට නන්ගි හිනා වෙවී කිව්වෙ එයාට දැන් ගෙදර රජා වෙන්න පුලුවන් කියල. ඒත් පොර ටිකකින් අඩල. එහෙම අඩල අම්මට කියල එයා මන් නිසා ඇඩුව කියල කියන්න එපා කියලත්. මන් හින්ද එයාගෙ ඇසින් කදුළු බින්දුවක් යන එක එයාගෙ තත්වෙට මදි කමක් නෙ. අම්ම කිව්වම මටත් හරිම සතුටුයි මන් වෙනුවෙන් එයා අඩපු එක ගැන.

ඉතින් එහෙම නැවතුන පළවෙනිම දවසෙ හරිම අවුල්. මොකද මන් අදුරන එක්කෙනෙකුට හිටියෙ එක යාළුවයි. අනික් අයව මන් දැනගෙන හිටියෙ නෑ. බෝඩිමේ කට්ටියට කාමර දෙකක් දීල තිබුන. ලොකුම කාමරේ හිටියෙ අපි හතර දෙනෙක්.එතනින් අපි තුන් දෙනෙක් ඒලෙවෙල්ස් කරනව. අනික් කෙනා එතන හිටපු එක්කෙනෙක්ගෙ නන්ගි. අනික් පොඩි කාමරේ හිටියෙ ජොබ් එකක් කරපු අක්ක කෙනෙක්. ඉතින් අපි දෙගොල්ලො අදුරගෙන ෆිට් වෙන්න ටික කාලයක් ගියා. ඊට මාස කීපෙකට පස්සෙ ඒ අක්ක එතනින් ගියාම ආන්ටි තව ස්කෝලෙ යන ළමයි දෙන්නෙක්ව ඒ කාමරේ නැවැත්තුව. ඊට පස්සෙ තමයි හය දෙනෙක්ගෙ ගැන්ග් එකක් එතන හැදුනෙ.

අනික් හැමෝටම වගේ බෝඩිමේදි මට තිබුන ලොකුම ප්‍රධාන ප්‍රශ්නෙ උනේ කෑම බීම. මොකද ගෙදරදි වගේ කන්නෙ නැති දෙයක් තිබුනොත් ආයෙ වෙන කන්න දෙයක් එතන තිබුනෙ නෑ. ඒක හින්ද ගොඩක් ගෙදරදි නොකාපු කෑම ජාති එහෙදි මන් කෑව. කෑව නෙවෙයි කන්න සිද්ද උනා කිව්වොත් හරි.දවල්ට උයන ව්යන්ජන අතරෙ සෝය මීට් ප්‍රධානයි. ඒ එක්කම තව තම්බල කන අල වර්ගයක් මාළුවක් විදිහට හදනව. ඒ අලේ තිබුන දවසට මට කෑම එපාම වෙනව.ඒ දවස්වල මන් මාළුයි බිත්තරයි කෑව උනත් මෙහෙ හදන ක්‍රමෙටයි තව හේතු කීපෙකුයි හින්ද මන් ඒව නැවැත්තුව. 'බිත්තර' පෝස්ට් එකේ තියෙනව වැඩි විස්තර.

ගෙදරදි උදේ ස්කෝලෙ එනකොට බඩ පැලෙන්න කාල බීල ආවත් මෙහෙ ස්කොලෙ ගිහින් පැයකින් විතර මට ආයෙමත් බඩගිනි හැදෙනව උදේට කන ප්‍රමානෙ මදි හින්ද. දවල්ට බෝඩිමට ඇවිත් බත් කන හින්ද ස්කොලේ ඉන්ටවල් එකෙදි කන්න බෝඩිමෙන් දුන්නෙ උදෙටම කාල යන පාන් හරි බත් හරිම තමයි. ඒ බත් එකේ ගොඩක් වෙලාවට තිබුනෙ ව්යන්ජන දෙකක් වගේ තමයි. පස් දෙනෙක් විතර උදෙට කෑම කාල ගෙනියන්නත් ගනිද්දි ගොඩක් වෙලාවට බත් හරි ව්යන්ජන හරි මදි.ඒත් අපි මොකුත් කිව්වෙ නැත්තෙ ඒක එතෙන්දි අමතර ආහර ගනයට වැටුන දෙයක් හින්දයි. ඒ වගේම අපි අනික් යාළුවො එක්ක කෑම මාරු කරන් කෑව හින්ද ලොකු ප්‍රශ්නයක් උනේ නෑ. කට්ටිය එක්ක කද්දි අපි කලේ මගෙ බත් එක එහෙමම තව කෙනෙක්ගෙ බත් ගොඩක් උඩට හලන එකයි. ඉතින් හැම සතියකම දවස් කීපයක් අපේ ගෙදරින් බත් එකක් එව්ව ස්කූල් වෑන් එකක ආව නන්ගි කෙනෙක් අතේ. දවස් කීපෙකට හරියන්න වගේ තමයි ඒ බත් එක අම්මයි තාත්තයි එවන්නෙ. යාළුවො කට්ටියත් කැමතියි ඒ කෑම එක කන්න. ඒ කොහොම උනත් අනික් බෝඩින් වල හිටපු ළමයි ගෙනාපු කෑම එක්ක බලද්දි අපේ බෝඩිමේ කෑම හොද තත්වෙන් තිබුන. බෝඩිමේ කෑම හින්ද අපිට කවදාවත් බඩේ අමාරු හැදුනෙ නෑ. ඒක හින්ද ගොඩක් දෙනෙක් අපේ බෝඩිම හොද තැනක් විදිහට තමයි පිළිගත්තෙ. අනික ඒක වලව්වක් හින්ද ඒ ආන්ටිටත් හැමෝම වගේ ගරු කලා.සැලකුව.

කෑම බීම වලට අමතරව අනික් ප්‍රශ්නෙ උනේ ටොයිලට් බාත් රූම් පරිහරනය කිරීම තමයි.ආන්ටිත් එක්ක ඔක්කොම කට්ටිය අට දෙනෙක් විතර හිටිය හින්ද උදේට බාත් රූම් යන්න පෝලිමක් තිබ්බ මොනවා කලත්. ගිහින් විනාඩි දහයකට වඩා හිටියොත් දොර ලග ඉදන් තව කවුරුහරි කෑගැහුව ඉක්මනට එන්න කියල. මන් මූන හෝදන්න ගියත් අනික් අයට වඩා වෙලා ගත්ත. ඒක හින්ද කටිටිය මට කිව්ව මුලින්ම හරි එහෙම නැත්නම් අන්තිමට හරි බාත් රූම් යන්න කියල. මුලින්ම ගියොත් උදෙන්ම නැගිටින්න වෙන හින්ද හැමෝම එක්ක කතා වෙලා මන් තමයි අන්තිමට බාත් රූම් යන්න තීරනය කලේ. ඒත් අපේ එවුන් ඔක්කොගෙම වැඩ ඉවර කරල යන්න ආන්ටි බලන් ඉන්න හින්ද මන් ගිහින් කොහොමත් විනාඩි පහලොවක් විතර යද්දි ආන්ටිගෙ බාත් රූම් සින්දුව ඇහෙනව. ඒක හින්ද බාත් රූම් වැඩෙත් හරිම ටෙන්ශන් එකකින් තමයි විභාග හුටපට අස්සෙ කලේ. ඒ අස්සෙම ආන්ටිගෙ බාත් රූම් නීති අනුගමනය කරන්නත් ඕනෙ. කොමොඩ් සීට් එක අපිට පාවිච්ච් කරන්න එපා කියන එක තමයි ප්‍රධානම නීතිය උනේ. ඒ ප්‍රධානම නීතිය තමයි මන් එහෙදි කැඩුවෙත්. මොකද කොමොඩ් සීට් එක නැතුව ඉද ගත්තම මගෙ පස්ස රිදෙන හින්ද මන් ඒ නීතිය කඩකලා.ඒ බාත් රූම් එක තිබුනෙ ආන්ටිගෙ කාමරේ ලගමයි. ඉතින් එයාගෙ අනික් නීතිය උනේ එය නිදි වෙලාවට අපේ බාත් රූම් වැඩ සද්ද බද්ද නැතුව කරන්න කියන එකයි. කොහොම උනත් බාත් රූම් නීති ටික නම් මානව හිමිකම් කඩන ඒව ටිකක්.

බිත්ති වල ඇන ගහනවට ආන්ටි කැමති උනේ නෑ. මදුරු නෙට් උනත් එල්ලල තිබුනෙ වහලෙ. මගෙ නෙට් එක එල්ලන කොක්ක දවසක් කැඩුනම අපි කට්ටිය ඇනයක් හොයන් බිත්තිය හිල් කලා ඒත්.එහෙම කරල කලු පාට ඇනෙයි බිත්තියේ හිලයි සුදු කලා බිත්තිය සුදු පාට හින්ද. රෑට පාඩම් කරද්දි අවම ලයිට් ප්‍රමානයක් පත්තු කරන්න කියන එකත් ආන්ටිගෙ එක නීතියක්.බාත් රූම් යන්න වෙන්නෙ ගෙයි කෑම මේසෙ ලගින් හින්ද අපි බාත් රූම් යද්දි එතන ලයිට් ටික දාගෙන තමයි යන්නෙ. ඉතින් විනාඩි කීපෙකට ඒ හරිය දවල් වගේ ඒකාලෝක වෙනව. ඉතින් ආන්ටි ඒ වෙලාවක ඇහැරුනොත් හිතන්නෙ පැය ගානක ඉදල ඒ ලයිට් අපි දාගෙන හිටිය කියලයි. අපි හය දෙනාම කරුනු පැහැදිලි කලත් එයා විශ්වාස කලේ නෑ. පස්සෙ අපි ටෝච් දෙකක් විතර ගෙනත් තියා ගත්ත ඒකට විසදුමක් විදිහට. ඉතින් ඒ තිබ්බ නීති ගොඩත් එක්ක අපි විනෝදෙන් හිටියෙ කට්ටිය සහොදරයො ටිකක් වගේ හිටපු හින්දයි. ඒක් හින්ද එතන තිබ්බ නීති රීති, අඩුපාඩුකම් අපිට දැනුනෙ නෑ.

බෝඩිමට ගිය මුල්ම දවස්වල මට එතන හරිම අපහසු තත්වයක් තිබුනෙ. කෑම කෑවත්, බාත් රූම් ගියත්, නිදා ගත්තත්, පාඩම් කලත් හරිම අවුල්. සති කීපයක් ඇබ්නෝමල් ජීවියෙක් වගේ හිටියෙ. පස්සෙ ඒ තත්වෙ හරි ගියේ යාළුවො ටික ෆිට් උනහම තමයි. හැම වැඩක්ම තනියෙන් කරගන්න පුරුදු වෙන්න උන එක තමයි ලොකුම අවුල උනේ. පස්සෙ ඒකත් ටික ටික හරි ගියා. ගිය මුල්ම දවස්වල කිලුටු ඇදුම් මන් එහෙදි හෝදන්නෙ නැතුව ගෙදර අරන් ආව. යනකොට හෝදගෙන අරන් ගියා. ටික කලකට පස්සෙ තමයි එහෙදිම ඇදුම් හෝදගත්තෙ. සමහර සති අන්තෙ මන් සපත්තු හේදුවෙත් නෑ මොකද තනියෙන කරගන්න තිබුන වැඩ වැඩි හින්ද. දවසක් ඒ කිලුටු සපත්තු දෙකත් දාගෙන හවස පන්ති ඇරිල එද්දි කොල්ලෙක් සපත්තු දෙක දිහා බලල 'ශී ශී' කියල අප්පිරිය මූනක් පෙන්නුව. ඊට පස්සෙ මන් නොවරදවාම සපත්තු හේදුව බෝඩිමේදි. ඊට කලින් ස්කොලෙන් කිව්වත්, ළමයින්ට අනිවාර්ය කරල තිබුනත් සපත්තු හෝදන්න හැම සති අන්තෙම කියල සමහර සතිවල මට කරන්න බැරි උනා. ඒත් අර කොල්ලගෙ රිඇක්ශන් එකට වස ලැජ්ජ හිතුන.


බෝඩිමේදි අපි හොර වැඩකට කලේ ලෑන්ඩ් ෆෝන් ලයින් එකෙන් කෝල්ස් ගත්ත එක තමයි. ආන්ටි ටිකක් විතර දැන්ගෙන හිටිය. ඒක හින්ද එයා කොහෙහරි ගමනක් යද්දි කියල යන්නෙ කෝල්ස් ගන්න එපා කියල. ආන්ටි කොහෙහරි දුර ගමනක් යද්දි අපි කට්ටියවම කැදවල නීති රීති ටික මතක් කරල දෙන එක එයාගෙ පුරුද්දක්. අපි කට්ටියම හරිම කැමතියි එහෙම දවස්වලට. මොකද එහෙම ගොඩක් දවස් වලට කෑම බීමත් ඒ ලග තිබුන රෙස්ටුරන්ට් එකකින් ගෙන්නගෙන කන්න පුලුවන් උනා.

25. විනෝද චාරිකා

පවුලෙ අයත් එක්ක මුලින්ම ගිය විනෝද චාරිකාව මොකක්ද කියල නම් මට හරියට මතක නෑ . ඒත් ඉස්සර අනිවාර්යෙන්ම දෙසැ...