මේ මුලු ජීවිත කාලෙටම කරපු සාප්පු සවාරි කොච්චරක්ද කියල හිතා ගන්න බැරි උනත් ඒ හා සම්බන්ද මතක සටහන් කීපයක්ම තියෙනව. ඒවයින් ගොඩක්ම ඒව ගැන තියෙන්නෙ හිනා යන වගේම හරිම වෙහෙසකර මතක සටහන්. කොච්චර ආසාවෙන් යන්න ලෑස්ති උනත් ආපහු බොහෝ දුරට ගෙදර එන්නෙ ඔළුව කැක්කුමක් හදාගෙන. එහෙමත් නැත්නම් පාන් කියාගන්න බැරි තරමට මහන්සි වෙලා. ගන්න වෙලාවට හොදයි වගේ පෙනුන ඒත් ගෙදර ගෙනාවම කැතට පෙනුන දේවලුත් මේ අතරින් වරදින්නේ නෑ. ඉතින් ගත්ත දේවල් ගැන සීයට පනහක හැටක වගේ කැමැත්තක් තමයි අන්තිමට තියෙන්නෙ. සමහර ඒව ආයෙමත් මාරු කරන්න ඕනෙ කියල හිතනකොටත් කකුල් දෙක රිදෙන්න ගන්නව.
ජීවිතේ
මුලින්ම සාප්පු සවාරි යන්නෙ අම්මයි, නන්ගියි එක්ක තමයි. තාත්ත අපිව එක්කගෙන යන්න ආවට
එයා අපිත් එක්ක ශොපින් කරන්න එන්නෙ නෑ. මොකද ඉතින් එයා දන්නව ඒක පැය ගානක කට්ටක් කියල.
ඒක හින්ද ගොඩක් වෙලාවට තාත්ත වාහනේට වෙලා ඉන්නව අපි එනකන්. සමහර වෙලාවට අපි එද්දි නිදාගෙන
ඉදල කියනව හොද නින්දක් දැම්ම කියල. ඒ වෙලාවට අම්මටත් හොදටම ඇති වෙලයි ඉන්නෙ. ඉතින්
හැම සැරේම අම්ම කියන්නෙ අපිත් එක්ක ආයෙ එන්නෙ නෑ කියලයි. එහෙම කිව්වට හැම සැරේම අම්ම
ආව අපි පොඩි කාලෙදි. ඉතින් අම්ම එක්ක ගියාම නන්ගිටයි මටයි උපරිමයෙන් යන්න පුලුවන් වෙන්නෙ
කඩ තුන හතරකට වගේ තමයි. ඒත් එක්කම එකම කඩේ ඇතුලෙ අපි එකම ඇදුම් ටික දෙතුන් පාරක් බලන
පුරුද්දත් අම්ම ඉවසුවෙ නෑ. එයා කිව්වෙ තව පාරක් බැලුවත් තියෙන්නෙ කලින් බලපු ඇදුම්
ටිකම තමයි කියල. කතාව ඇත්ත උනාට අපි කිව්වෙ මිස් උන හොද ඒව ඒ අතර තියෙද කියලයි බැලුවෙ
කියල.
පස්සෙ
ටිකක් කල් යද්දි නන්ගියි මමයි තනියෙම ගියා. ඉතින් අපි කැමති වෙලාවක් එකම කඩේ ඇතුලෙ
ඉදල ශොපින් කලා. අපි කඩවල් දහයකට දොලහකට ගිහින් අපිට ඕනෙ දේවල් තේරුව. එයත් එක්ක ශොපින්
කරන එකේ අවුලක් තිබුනෙ නෑ. කොහොම උනත් ගෙදර එනකොට හෙම්බත් වෙලයි ආවෙ. එහෙම ආව දවසට ගෙදර ආව ගමන් මුලින්ම කලේ ඇදුම් ටික අම්මට පෙන්නන
එකයි බිල් එක අපි දෙන්නට වියදම් උන ප්‍රමානෙට බෙදා ගන්න එකයි. ඉතින් අම්මට පෙන්නද්දි
තමයි හොදම ප්‍රතිචාරෙ ලැබෙන්නෙ. කාලයක් මන් නිල් පාටෙම එක එක ප්‍රභේද වලින් තමයි ඇදුම්
ගත්තෙ. ඇදුම් පහක් ගත්තොත් ඔක්කොම වගේ නිල් පාට තමයි. ඉතින් ඒ දවස්වල ශොපින් යන්න ලෑස්ති
වෙනකොටම අම්ම කියන්නෙ නිල් පාටින් තව මොනව හරි ගෙනාවොත් ඉරල වීසි කරනව කියල. ඔය වගේම
වොර්නින්ග් එකක් ආයෙ හම්බුනේ අපේ ආච්චි අම්මගෙන්. එයා කිව්වෙ කළු පාටින් ගෙනාවොත් එයා
වීසි කරනව කියල.එයාගෙ ඇස් පෙනීම ඒ දවස්වල ටිකක් අඩු හින්ද තද දුඹුරු, තද නිල්, කොළ
ඔක්කොම වගේ පෙනුනෙ කළු පාටට.ඒත් එක්කම දෙන්නම කිව්වෙ ගිය තැන්වල පැල වෙන්නෙ නැතුව පුලුවන්
ඉක්මනට එන්න කියලයි. ආයෙ ආවම ගත්ත ඒව දිහා බලල කිව්වෙ දවසම වගෙ ගිහින් ගත්තෙ මේ ටිකද
කියලයි.
ඒ
ගොල්ලන්ගෙ එක එක විදිහෙ කමෙන්ට්ස් අහන එකත් හරිම දුකක් වෙලයි තිබුනෙ. එක හින්ද පස්සෙ
පස්සෙ අපි කලේ ඒගොල්ලො අකැමැතියි කියල හිතෙන දේවල් එයාලට පෙන්නන්නෙ නැතුව හිටපු එකයි.
පස්සෙ ඒව ඇදගෙන යද්දි තමයි කිව්වෙ මන් මේක දැක්ක නෑනෙ. 'අපෝ හිර වැඩියි ඇගට, කර කපල
වැඩියි හොදටම, ඔය පාට කැතයි වගේ දේවල් තමයි ඒ වෙලාවට අහගන්න සිද්ද උනේ.
අපේ
පවුලෙ අයගෙන් ශොපින් යන්න හොද කෙනෙක් උනේ අපේ බාප්ප. එයා අනික් අය වගේ චුරු චුරු ගෑවෙ
නෑ වෙලා ගියාට.අපිත් එක්ක කඩවල් විස්සකට උනත් ආව.ඒක හින්ද සමහර වෙලාවට තාත්තයි ලොකු
තාත්තයි අපිව ශොපින් යැව්වෙ බාප්පත් එක්ක.බාප්ප එයාට දෙයක් ගන්න ගියත් වරුවක් තෝරල
ගන්න කෙනෙක්. මොන දේ ගන්න ගියත් එහෙමයි. ඉතින් තාත්ත එක්ක ගමනක් යද්දි තාත්ත බැරිවෙලාවත්
බාප්පව කඩේකට යවන්නෙ නෑ. දවසක් පිට පළාතකින් මාළු වගයක් ගන්න ගිහින් බාප්ප පැයක් විතර
ගිහිල්ලත් ආපහු ආවෙ නෑ. පස්සෙ එතන ඉන්න කෙනෙක්ගෙන් ගුටි කාලද දන්නෙ නෑ කියල තාත්ත හොයන්න
ගියා.තාත්ත යනකොටත් බාප්ප මොකුත් අරන් නෑ. ඇදුම් ගන්න වගේ කඩවල මාළු බල බල ඉන්නවලු.
පස්සෙ බැනල එක්ක ඇවිත් තිබුන.
ලොකු
තාත්ත එක්කත් මමයි අපේ කසින් නන්ගියි දවස් දෙකක් වගේ ඇදුම් ගන්න ගියා. ඒ ගියෙ කාගෙහරි
වෙඩින් එකකට. ඉතින් ලොකු තාත්තට ඕනෙ උනේ ගිය පළවෙනි කඩෙන්ම ඕනෙ කරන ඔක්කොම ටික ගන්නයි.
ඒකත් හරිම ඉක්මනට කෙරෙන්න ඕනෙ උනා. ඉතින් නන්ගියි මමයි ටිකක් වෙලා ගනිද්දි යන් යන්
කියල කෑගහනව එයාට එදා දවසට කරන්න තියෙන වැඩ ලිස්ට් එකත් ඒ එක්කම මතක් කරනව.පස්සෙ නන්ගියි
මමයි කලේ ලොකු තාත්තව දැක්කෙ නෑ වගෙ ඇදුම් තෝරපු එකයි.ලොකු තාත්ත අපි ඉන්න කිට්ටුවට
එනකොට අපි කලේ තව තැනකට යන එකයි. කොහොමහරි ආපහු එනකොට හොදටම තද වෙලයි හිටියෙ.
ඒ
කසින් නන්ගි එක්ක ශොපින් කරන එක ලේසි උනේ නෑ. පොඩි ඩෙයක් උනත් ගත්තෙ ඒකෙ මිලත් එක්ක
තව ගොඩක් දේවල් සන්සන්දනය කරලයි. ඉතින් දවසක් මන් මෙයත් එක්ක සපත්ත් ගන්න කඩවල් දහයක
විතර ඇවිද්ද. කකුල් දෙක පන නැතිවෙනකන් ගිය හින්ද අතර මගදි තව පැයක් විතර නැවතිල කෑම
කෑව. ඔහොම යද්දි අපි ගිය එක කඩේක හිටිය පිරිමි ළමයෙක්. පොර බොහොම උනන්දුවෙන් සපත්තු
විස්සක් විතර ගෙනත් පෙන්නුව. සමහර සපත්තු දාන්නත් උදවු කලා. අන්තිමේදි මේ මනුස්සයට
ඇති වෙලයි හිටියෙ. කොහොම උනත් මෙයාට ගන්න තරම් දෙයක් එතනත් හොද උනේ නෑ. ඒ තැන තව සපත්තු
කඩ කීපයක්ම තිබුන. ඉතින් ඔය හැම එකකටම වගේ ගිහින් අපේ කසින් නන්ගි අර කඩේටම ආව වෙන
දොරකින්. ඒ කොල්ලව දැක්කම තමයි අපි දැනගත්තෙ කලින් ආව කඩයක්මයි කියල. හොදම වැඩේ වෙන්නෙ
අපිව දැක්ක ගමන් පොර කිව්ව ඔයාල කලින් ආව කියල. ඒ වෙලාවෙ අපිට හිනා ගියත් ඒ පිරිමි
ළමය පොඩ්ඩක්වත් හිනා උනේ නෑ. මන් හිතන්නෙ ඌට අපිව එපාම උනා.කඩේට ආව කස්ටමස්ල දෙන්නෙක්
නේද කියලවත් හිතන්න එපායෑ. මුන් වගෙ කස්ටමස්ල නම් ඕනෙ නෑ කියල හිතන්න ඇති.


