ආදරවන්තයින්ගෙ දවසත් ලග හින්ද මන් හිතුව ඊලගට ඊට සම්බන්ද මාතෘකාවක් ගැන තියෙන මගෙ මතකයන් කීපයක් ඔයාලත් එක්ක බෙදා ගන්න.
මුල්ම සිද්දියට සම්බන්ද වෙන්නෙ අපේ අම්මයි තාත්තයි. ඉස්සර මට තිබුන හාරා ඇවිස්සීමේ පුරුද්දක් හින්ද තමයි මේ වැඩේ උනේ. ඒ දවස්වල මන් හරි ආසයි අල්මරියක්, ලාච්චුවක් ,මේසයක් ඇදගෙන ඒව අස්සෙ තියෙන දේවල් හොයල බලන්න. ඉතින් එක දවසක් මන් අපෙ ගෙදර තිබුන අල්මරියක් ඇරල බැලුව.ඒකෙ ඇතුලෙ තිබුන ඇදුම්, තව පරණ ලට්ට ලොට්ට ගොඩක් ඇතුලෙ පොඩි උරයක් තිබුන රෙදි ගොඩකට යට කරල. මන් බොහොම කැමැත්තෙන් ඒක ඇරල බලුවම මගෙ සතුට ඉහ වහ ගියෙ ඒ තියෙන්නෙ ලියුම් ගොඩක් කියල දැක්කම.
ඒ වෙද්දි මට අවුරුදු දහතුනක් වගේ ඇති. ඒ ලියුම් ඔක්කොම ලස්සනට අහුරල තිබුන. ඒ කවරෙ අරිද්දි ආවෙ හොද මිහිරි සුවදක්. ඉතින් මගෙ ආසාව තවත් වැඩි උනේ මොනවද මේක ඇතුලෙ ලියල තියෙන්නෙ කියල බලන්න. එකක් දෙකක් ඇරල බලද්දි තමයි තේරුනේ අම්මයි තාත්තයි යාළුවෙලා ඉන්න කාලෙ ලියපු ලියුම් වගයක් කියල. ඒත් වැඩේ හොරෙන් සිද්ද වෙන්න ඕනෙ හින්ද මට එතන ඔක්කොම කියවන්න බෑනෙ. ඉතින් මන් ඒ ඔක්කොම ලියුම් ටික අරන් මගෙ කාමරේ මුල්ලකින් හැන්ගුව. මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තමයි නන්ගි දකියිද කියන එක. මොකද එයාට හොරෙන් දෙයක් හන්ගන්න හරි අමාරුයි. ඒ දවස්වල එයාගෙ ප්‍රධානම වැඩක් උනේ මගෙ වැරදි හොයල අම්මට කියන එකයි. මොකද එයා කැමති උනේ නෑ මන් හොදයි කියල අම්මටයි තාත්තටයි පේනවට. හරිම ඉරිසියාවෙන් තමයි ඒ හොල්මන හිටියෙ ඒගොල්ලො මගෙ හොදක් කියද්දි. ඉතින් මේ වැඩේ කොහොමත් එයාට හොරෙන් තමයි කරන්න උනේ.
දැන් ලියුම් ටික අරන්ගෙන හන්ගල දවස් ගානක් ගතවෙලා ගියත් මට ඒ ටික බලන්න හොද වෙලාවක් ආවෙ නෑ. ඉතින් මන් හිත හිත හිටියෙ මේ වැඩේට කොහොමද මන් හොද වෙලාවකුයි, තැනකුයි හොයා ගන්නෙ කියල. නන්ගියි මමයි පාඩම් කලේ එක කාමරේ. අපි දෙන්නම නිදා ගත්තෙ අම්ම එක්ක. ඉතින් මට අවස්තාවක් තිබුනෙම නෑ මේ ටික ඉක්මනට කියවන්න. ඔහොම දහ අතේ කල්පනා කර කර ඉන්නකොට මට හොද අදහසක් ආව. ඒ තමයි වෙන ලොකු පොතක් ඇතුලට ඒ ලියුම් දාල ඒ පොත බලන විදිහට ලියුම් ටික බලන්න.ඊට පස්සෙ මගේ ඊලග ස්ටෙප් එක උනේ හාෆ් ශීට් කොලයක් ඇතුලට දාල බලන්න පුලුවන් පොතක් හොයා ගන්න එකයි. ඉතින් ඒකටත් තව කාලයක් වැයකරල අන්තිමට මට හම්බුනා හොද ලොකු පොතක්. ඒ තමයි 'අනගාරික ධර්මපාල' තුමාගෙ චරිත කථාව. පොත බොහොම වටිනා වැදගත් එකක්. අපේ සීය තමයි දවසක් එයාගෙන් ඉන්ග්‍රීසි ඉගන ගන්න ගියාම මට ඒ පොත දුන්නෙ. තද දුඹුරු මිශ්‍ර රතු පාට පිට කවරයක රත්තරන් පාට අකුරින් 'ශ්‍රීමත් අනාගාරික ධර්මපාල උතුමානණ්' කියල තමයි පොතේ ලියල තිබුනෙ. එතුමාගෙ උපතේ ඉදල අවසාන කාලය දක්වාම ලියල තිබුන ලොකු පොතක් ඒක. සීය මට දුන්න දවස්වලම මන් ඒක කියවල තිබුනෙ.
අපේ රටේ ඒ කියන්නෙ ශ්‍රී ලන්කාවෙ හිටපු අපේ රටට ලොකු සේවයක් කරපු වීර චරිතයක් තමයි 'අනගාරික ධර්මපාල' තුමා කියල කියන්නෙ. ඉන්දියාවෙ අප ලොව්තුරු බුදු රජානණ් වහන්සේ බුද්ධත්වයට පත් උන 'බුද්ධගයාව' නැවත් බෞධයන්ට වදින්න පුදන්න ඉඩ ලබා දුන්නෙ එතුමාගෙ අතිමහත් උත්සාහයෙන්. ඒ වගේම අපේ රටේ වගේම ලෝකයේ අනික් රට වල පවා 'බුද්ධාගම' පිලිබදව දැනුවත් කිරීම් කටයුත් කලා. මේ කටයුතු එතුමන් කරගෙන ගියෙ බාධක ගොඩක් මැද්දෙ.පොදු අරමුනක් වෙනුවෙන් වැඩ කලා උනත් එතුමාට ලැබිය යුතු සහයෝගය ගොඩක් දුරට ලැබුනේ නෑ කියලයි සදහන් වෙන්නෙ. ඒත් එතුමා බොහෝ මිනිස්සුන්ගෙ හිත සුව පිනිස තමන්ගෙ පෞද්ගලික ජීවිතය පවා කැප කලා.වෙනත් රටවල ධර්මය ප්‍රචාරය කරද්දි, හෙන් රි ඕල්කට් තුමා කියන්නෙ එතුමාට ගොඩක් සහයෝගය දක්වපු තවත් දැවැන්ත චරිතයක්. 'අනගාරික ධර්මපාල' තුමා ගැන වැඩි විස්තර දැනගන්න ඕනෙ නම් මෙන්න මේ වෙබ් අඩවියට ගිහින් බලන්න. http://anagarika.dharmapalappa.lk/profile/index_en.htm
ඉතින් මන් මේ ලියුම් ටික අරන් බලන්න යද්දි මගෙ අත වෙව්ලල ගියා. පස්සෙ එතන උඩින්ම තිබුන ලියුම අරන් පොත ඇතුලට දාගත්ත. හරිම ලස්සන පැහැදිලි අත් අකුරෙන් තමයි ලියුම ලියල තිබුනෙ. අම්ම තාත්තට ලියපු ලියුමක්. හාෆ් ශීට් කොලේ දෙපැත්තෙම ලස්සන අකුරින් ලියල තිබුන. ඒ ලියපු අකුරු දැක්කම මට දැනුනෙ නිවී සැනසී යන හැගීමක්. ඒ තරමට හරිම පිරිසිදුයි පැහැදිලියි. ඉතින් කියවගෙන යද්දි තිබුනේ අම්මගෙ විස්තර ටිකක. එයා වැඩ කරපු තැන දේවල්, ගෙදර ඉදල වැඩට ආපහු ආව දවස්, ඒ එනකොට යාළුවන්ට ගෙනාපු දේවල් වගේ ඒව තම්යි ලියල තිබුනෙ. ඉතින් ඔය විදිහට නිවී සැනසිල්ලෙ මට ලියුම් කීපයක් කියවන්න පුලුවන් උනා නන්ගිගෙ ඇස් වලට වැලි ගහල. මන් කියවන්න පුටුව හැරෙව්ව දොර පැත්තට මූන දාන විදිහට. එහෙම කලේ කවුරුහරි දොරෙන් එනවනම් මට ඒකට සූදානම් වෙන්න පුලුවන් හින්දයි. කාමරෙත් ටිකක් විතර කොනකට වෙන්න වගේ තමයි හිටියෙ.එහෙම කියවද්දි මට හිතුනෙ අම්ම එයා ලියුම් ලියපු පිලිවෙලට ලියුම් ටික ඇරේන්ජ් කරල තියෙනව කියල. ඉතින් අම්ම ලියපු ලියුමයි, තත්තගෙන් ඒකට ආව පිලිතුරයි එක ලග ලියුම් වල හරිම පිලිවෙලට තිබුන. ඉතින් ඒක එයාලගෙ ලොකු දුවට ගොඩක් පහසු උනා කියවන්න. දෙන්නගෙන් එක්කෙනෙක් වත් රොමෑන්ටික් දේවල් නොලිය හරිම වැදගත් විදිහට අදහස් හුවමාරු කරගෙන තිබ්බෙ මන් කවදහරි බලයි කියල නිකන් හිතිල වගෙයි.
අම්මගෙ අකුරු ලස්සනට මුතු ඇට වගේ තිබුනත්, තාත්ත ලියපුව කියවන්න මට ගොඩක් වෙලා ගියේ ඒ අකුරු තේරුම් ගන්න අමාරු උන හින්දයි. වම් පැත්තට ලියපු ඇල අකුරු තමයි තාත්ත ලියල තිබ්බෙ. කවුරු හරි කාමරේට එනවද බලන්නයි, ඒ ලියපුව තේරුම් ගන්නයි ගියාම මට වැඩෙත් එපා උනා. ඉතින් සමහර තාත්ත ලියපු ලියුම් මන් බැලුවෙ නැත්තෙ අම්ම කොහොම කියෙව්වද කියල හිත හිත. ඉතින් මේ විදිහට කියවන්න ලියුම් ගොඩක් මට තිබුන. මන් භාගෙකටත් වඩා කියවල ඉවර කලා. ඔය විදිහට දවස් ගානක් පොත කියෙව්ව. ඉතින් නන්ගිට පොඩ්ඩක් සැක හිතුන මන් මෙච්චර කල් හරිම උනන්දුවෙන් මොකද මේ වගේ පොතක් බලන්නෙ කියල. දවසක් පොර අහනව 'තමුසෙට ඔච්චර ආස හිතෙන දේවල් ඔය පොතේ කියවන්න තියෙද' කියල. මන් ඔව් කියල බැනල පන්නගත්තත් පොරට සැකේ තිබුන. ඉතින් මාත් පරිස්සමින් බැලුවත් දවසක් මේකි එකා පාරටම කාමරේට දුවගෙන ඇවිත් පොත ඇදල ගත්ත. එවෙල බල බල හිටපු ලියුමයි, ඊලගට බලන්න හිටපු එකයි පොත එක්කම බිමට වැටුනෙ මන් ආපහු අදින්න ට්‍රයි කරද්දි. එතකොට ඉතින් වැඩේ මාට්ටු. මෙයා ඒ ටික අහුල ගෙන කියවද්දි මට කරගන්න දෙයක් තිබුනෙ නෑ. ඉතින් මෙයාට අනික් ඔක්කොම කියවන්න ඕනෙ උනා. මෙයා මට වඩා අවුරුදු තුනකින් බාල හින්ද මන් කිව්ව තව අවුරුදු තුනකින් මගෙ වයසට ආවම කියවන්න කියල. ඒකට තද වෙච්ච ගමන් ගිහින් අම්මගෙ කනේ තිබ්බ. මන් ආපහු කතා කලත් ආවෙ නෑ.
ඊට පස්සෙ අම්ම කාමරේට ආවම මට හරිම ලැජ්ජයි. පස්සෙ මගෙන් ඒ ලියුම් ටික බැන බැන ඉල්ලුව. ඒක ගත්ත ගමන්ම අම්ම ඒ ඔක්කොම පිච්චුව. මට ලොකු දුකක් ඇතිඋනේ එච්චර කල් ලස්සනට ආසාවෙන් තියන් හිටපු ඒ මතක සටහන් මන් හින්ද නැති කරගත්ත කියල. ඒ ටික පුච්චද්දි මන් කිව්ව 'මන් එකයි බැලුවෙ. අනික් ඒව පුච්චන්න එපා' කියල. ඒත් අහන්නෙ නැතුව ඔක්කොම ගිනිබත් කලා. තව ඒ අතරෙ ලස්සන කාඩ් කීපෙකුත් තිබුන. ඉතින් ඉතුරු ලියුම් ටික මට බලන්න බැරි උනාට වඩා දුකක් මට ආවෙ මන් හින්ද ඒ ටික නැති උනානෙ කියන සිතුවිල්ලත් එක්ක. මන් හිතනව අම්ම මේ ගැන තාත්තට කියන්න ඇති කියල. ඒක හින්ද මන් දවස් කීපයක් තාත්ත එක්ක වැඩිය කතා කලේ නෑ. තාත්ත මොකුත් කිව්වෙත් නෑ. අම්ම වගේ කියල පත්තරේකින් කපල තාත්ත ලග තියාගෙන හිටපු මලක් අතේ තියාගෙන ඉන්න ලස්සන ගෑණු ළමය ඒ ගිනි ගොඩේ පිච්චුන හැටි මට තාම මතකයි.
ආදර ලියුම් වලට සම්බන්ද ඊලග සිද්දිය උනේ ස්කෝලෙ යන කාලෙදි. දවසක් අපි යාළුවො කට්ටිය ස්කෝලෙ ලග බස් හෝල්ට් එකේ ඉන්නකොට ට්‍රිප් එකක් යන පිරිමි ළමයි කට්ටියක් තුන්ඩු කෑලි වගයක් විසිකරල ගියා. ඒ ගිය වෑන් එකේ ජනෙල් වලින් එලියට ඔලුව දාල උන් කෑගැහුව 'නන්ගී අහුලගන්න' කියල. ඉතින් අපිත් ටිකක් වටපිට බලල ඒ තුන්ඩු අහුලගත්තම ඒවයෙ තිබුනෙ ෆෝන් නම්බර්ස් වගයක් එක්ක ඇඩ්ඩ්‍රස් කීපයක්. ඉතින් අපිට මෙහෙම සිද්දියක් උන පලවෙනි වතාව හින්ද අපිට පුදුම සතුටක් දැනුනෙ. අපි කටිටියම තීරනය කලේ කෝල් නොකර ලියුමක් ලියල දාමු කියල. එතන ඇඩ්ඩ්‍රස් කීපයක් තිබුනත් අපි හිතුව එකකට විතරක් ලියුම ලියල බලන්න. ඒත් එක්කම අපි කට්ටියම එකම ලියුමෙ ලියන්නත් තීරනය කලා.ඉතින් පහුවදා ස්කෝලෙ ආවම ප්‍රධානම වැඩේ උනේ හොද වෙලාවක් බලල ලියුම ලියන එකයි.
ඉතින් අපි කට්ටිය පොතක කොල කීපයක් අරන් ලියුම ලියන්න පටන් ගත්තා. එක එක්කෙනාව හදුන්වාදීම තමයි මුලින්ම කලේ. ඊට පස්සෙ එයලගෙ විස්තරත් එක්කම එදා ඒ ගිය ට්‍රිප් එක ගැනත් අහල අපි ලියුම ලිව්ව. ඊට පස්සෙ ප්‍රශ්නෙ ආවෙ අපි කාගෙ ඇඩ්ඩ්‍රස් එකද එයාලට දෙන්නෙ කියල. ගෙවල් වල ඒව දුන්නොත් ගෙදර අය ලියුම කඩල බලන හින්ද අපි හිතුව බෝඩිමක ඉදල ස්කොලෙ ආව අක්ක කෙනෙක්ගෙ ඇඩ්ඩ්‍රස් එක දෙන්න. ඉතින් ඒ විදිහට බොහොම සතුටින් අපි ලියුම තැපැල් කලා. පස්සෙ දවසක කොල පහක් හයක් වත් ඇති කියල හිතෙන ලොකු ලියුම් කවරයක් ඒ අක්ක ගෙනත් දුන්න. ඊට පස්සෙ ලියුම කඩල බලන්න ලොකු හදිස්සියක් තිබුනත් ස්කොලේ ඇතුලෙදි කොහොමද ඕක කියවන්නෙ කියල කට්ටිය හිත හිත හිටියෙ. අදහස් කීපයකට පස්සෙ කවුරුත් එකග උනේ ස්කොලේ වොශ් රූම්ස් ඇතුලට ගිහින් කියවමු කියල. ලියුම කියවන්න අතට ගත්තම තමයි තරම තේරුනෙ හොදම භාශාවකින් ලියල තියෙන්නෙ කියල. කියවන්න සෑහෙන අමාරු දේවල් ගොඩක් ලියල ඒ මදිවට ඒවට ගැලපෙන පින්තූරත් ඇදල තිබුන.ඒත් අපි ඔක්කොම ටික හිනා වෙවී කියෙව්ව.එහෙම කියවල තීරන කලේ ආයෙ ඔය වගේ ගොන් වැඩ නොකර ඉන්නයි. අන්තිමට ඒ ලියුම ලග තියාගන්න කවුරුත් කැමති උනේ නෑ. ඒක හින්ද අපි ඒක ටොයිලට් එකට දැම්ම. කොහොම උනත් ඒ සිද්දිය ටික දවසක් යනකන් මතක් කර කර හිනා වෙන්න පුලුවන් උනා.අපි එක්කෙනාට වෙන වෙනම උනුත් රිප්ලයි කරලයි තිබුනෙ.පස්සෙ අපි එක එක්කෙනාට මඩ ගහන්න ඒවයෙ කොටස් පාවිච්චි කලා.
ඊට පස්සෙ ලියුමක් සම්බන්දයෙන් මන් පරිප්පුවක් කන්නෙ යාළුවෙකුට උදව්වක් කරන්න ගිහින්. ඉස්සර තිබුන පත්තරේක වෙනම පිටුවක් තිබුන අලුත් මිතුරු මිතුරියන් හදුනාගන්න. ඉතින් එයාලගෙ ෆෝන් නම්බර්ස් වගේම ඇඩ්ඩ්‍රස් එකත් ෆොටෝ එක එක්ක දාල තිබුන එයාලගෙ පොඩි විස්තරේකුත් එක්කම. ඔය පිටුව බලපු මගෙ යාළුවෙකුට ඕනෙ උනා එතන හිටපු හැන්ඩ්සම් පිරිමි ළමයෙකුට ලියුමක් ලියන්න. එයාගෙ අත් අකුරු එච්චර හොද නැති හින්ද එයා වෙනුවෙන් මන් තමයි ලියුම ලිව්වෙ. ඉතින් එයා කියපු දේ මන් ලිව්ව. එහෙම ලියල ඒ ලියුම මන් ගෙදර අරන් ගියෙ එදා ඒ මගෙ යාළුවට හවස ස්පෝට්ස් ප්‍රැක්ටිස් තිබුන හින්දයි. බෑග් එක එලියෙ තියල යද්දි කවුරු හරි ඇද්දොත් කියන බයට තමයි මන් ගෙදර ගෙනිහින් පහුවදා ගේන්නම් කිව්වෙ. ඉතින් මන් බෑග් එකේ ඇතුලෙම පොකට් එකක ලියුම දාල තිබුනෙ. ගෙදර ගිහින් වෙනදට වඩා ටිකක පරිස්සම් වැඩි තැනක් බෑග් එක තියද්දි නන්ගි බලන් හිටියත් මන් හිතුවෙ නෑ ඒ වැඩේ එයාට සැක හිතෙයි කියල.
එහෙම තියල සුපුරුදු පරිදි මන් නාන්න ගියා. ආපහු ඇවිත් කෑම කෑවට පස්සෙ ටිකකින් තාත්ත කතා කලා. කතා කරපු විදිහ ටිකක් වෙනස් හින්ද මට තේරුනා ලියුම අහුවෙලා තමයි කියල.මන් යද්දි තාත්ත ලග නන්ගි බොහොම සතුටින් ඉන්නව. ඇත්තටම මගෙ වැඩක් නෙවෙයි හින්ද මට බයක් හිතුනේ නැතැත් මට ලොකු ලැජ්ජාවක් හිතුනෙ ඒ ලියුම තාත්ත කියවපු හින්දයි. ඒකට පොඩි පොඩි සින්දු කෑලිත් ලියලයි තිබුනෙ. ඉතින් එවෙලෙ නන්ගි හිටියෙ ලොකු ජයග්‍රහනයක් ලැබුව එකියක් වගෙයි. පොරට හෙනම හැපි බඩුත් එක්කම වැරැද්දක් අහු උන එක ගැන. මගෙ හොද නම එතනම ඉවර හින්ද.තාත්ත මුලින්ම ඇහුවෙ එයයි අම්මයි මට ආදරේ නැද්ද කියල. අම්ම ඒ ලග පාතක හිටියත් මොකුත් කිව්වෙ නෑ. මන් කිව්ව එහෙම මොකුත් ප්‍රශ්නයක් නෑ කියල. ඊට පස්සෙ ලියුම පෙන්නල ඇහුවෙ ඇයි එහෙනම් දැන්ම මේ වගේ වැඩ කරන්නෙ කියලයි. පස්සෙ මන් ඇත්තම කියද්දි තාත්ත මාව විශ්වාශ කලා.නන්ගිට හෙන අවුල් මොකද එයා හිතපු දේ සිද්ද උනේ නැති හින්ද.
කොහොම උනත් බොහොම අමාරුවෙන් ලියපු ලියුම ඉරල වීසි කරන්න උනේ තාත්ත ඒක ලග තියාගන්න එපා කියල කියපු හින්දයි. මගෙ අත් අකුරු හින්ද ස්කොලෙ ටීචර් කෙනෙක් දැක්කොත් අනිවාර්යෙන්ම වැරැදි වෙන්න මන් කියල තමයි තාත්ත කරුනු පැහැදිලි කරල දුන්නෙ. ඉතින් ඔය සිද්දියෙන් පස්සෙ මන් ඒ වගේ කොන්ත්‍රාත් බාර ගන්න එක නැවැත්තුව.පහුවදා යාළුවට විස්තරෙ කියද්දි ඌ කිව්වෙ ඌ අනන්තවත් කරන වැඩේ මන් කරපු පලවෙනි දවසෙම අහු උනා කියලයි.
පස්සෙ කාලෙක මගෙ ප්‍රථම ප්‍රේමය වෙන්නෙ ඒක පාර්ශ්වික අදහසක්. ඇත්තම ලොකු ආදරයක් තමයි මට ඒ මනුස්සය ගැන ඇතිවෙලා තිබුනෙ. උරහිස් දෙක ඇතුලට ටිකක් අකුලගෙන ඉන්න හින්ද අනික් අය එක එක නම් කිව්වත් එයා තමයි මගෙ ලව් එක උනේ. ඒත් එයාට වෙන ගර්ල් කෙනෙක් ඉන්නව කියල දැනගන්නකොටත් මන් සිහින මාළිගා ගොඩක් දුරට හදලයි තිබුනෙ. ඉතින් හිත ඇතුලෙන් පිච්චෙනව වගේ හැගීමක් එක්ක මාස කීපයක් ගෙවිල යද්දි මගෙ පුරුද්දක් උනේ ඒ අයියට ආදර වැකි වලින් ලියුම් කවිත් එක්ක ලියන එකයි. කවදාවත් ඒව පෝස්ට් නොකර ලිය ලිය මන් ලගම තියාගත්ත. අන්තිමට ඒ වැඩෙත් නතර උනේ නන්ගිට ඒ ලියපු ලියුමක් අහුවෙලයි. හැම මගුලකට හෙනයක් වෙන්නෙ මේ වාතෙ තමයි කියල මට හිතුනෙ. කොහොම උනත් ඔය කෙනා ගැන හිත හිත ඉන්න එක මන් නතර කලේ දවසක් ගත්ත ෆොටෝ එකක් හින්දයි. ඒකෙ පේනව මගෙ ඒ දවස්වල තිබුන දුක්බර පෙනුම. ඉතින් මටම හිතුන මෙච්චර දුක් වෙන්නෙ මොන දේකටද කියල.


