Thursday, 17 January 2019

17. ආදර හසුන්
























ආදරවන්තයින්ගෙ දවසත් ලග හින්ද මන් හිතුව ඊලගට ඊට සම්බන්ද මාතෘකාවක් ගැන තියෙන මගෙ මතකයන් කීපයක් ඔයාලත් එක්ක බෙදා ගන්න.

මුල්ම සිද්දියට සම්බන්ද වෙන්නෙ අපේ අම්මයි තාත්තයි. ඉස්සර මට තිබුන හාරා ඇවිස්සීමේ පුරුද්දක් හින්ද තමයි මේ වැඩේ උනේ. ඒ දවස්වල මන් හරි ආසයි අල්මරියක්, ලාච්චුවක් ,මේසයක් ඇදගෙන ඒව අස්සෙ තියෙන දේවල් හොයල බලන්න. ඉතින් එක දවසක් මන් අපෙ ගෙදර තිබුන අල්මරියක් ඇරල බැලුව.ඒකෙ ඇතුලෙ තිබුන ඇදුම්, තව පරණ ලට්ට ලොට්ට ගොඩක් ඇතුලෙ පොඩි උරයක් තිබුන රෙදි ගොඩකට යට කරල. මන් බොහොම කැමැත්තෙන් ඒක ඇරල බලුවම මගෙ සතුට ඉහ වහ ගියෙ ඒ තියෙන්නෙ ලියුම් ගොඩක් කියල දැක්කම.

ඒ වෙද්දි මට අවුරුදු දහතුනක් වගේ ඇති. ඒ ලියුම් ඔක්කොම ලස්සනට අහුරල තිබුන. ඒ කවරෙ අරිද්දි ආවෙ හොද මිහිරි සුවදක්. ඉතින් මගෙ ආසාව තවත් වැඩි උනේ මොනවද මේක ඇතුලෙ ලියල තියෙන්නෙ කියල බලන්න. එකක් දෙකක් ඇරල බලද්දි තමයි තේරුනේ අම්මයි තාත්තයි යාළුවෙලා ඉන්න කාලෙ ලියපු ලියුම් වගයක් කියල. ඒත් වැඩේ හොරෙන් සිද්ද වෙන්න ඕනෙ හින්ද මට එතන ඔක්කොම කියවන්න බෑනෙ. ඉතින් මන් ඒ ඔක්කොම ලියුම් ටික අරන් මගෙ කාමරේ මුල්ලකින් හැන්ගුව. මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තමයි නන්ගි දකියිද කියන එක. මොකද එයාට හොරෙන් දෙයක් හන්ගන්න හරි අමාරුයි. ඒ දවස්වල එයාගෙ ප්‍රධානම වැඩක් උනේ මගෙ වැරදි හොයල අම්මට කියන එකයි. මොකද එයා කැමති උනේ නෑ මන් හොදයි කියල අම්මටයි තාත්තටයි පේනවට. හරිම ඉරිසියාවෙන් තමයි ඒ හොල්මන හිටියෙ ඒගොල්ලො මගෙ හොදක් කියද්දි. ඉතින් මේ වැඩේ කොහොමත් එයාට හොරෙන් තමයි කරන්න උනේ.

දැන් ලියුම් ටික අරන්ගෙන හන්ගල දවස් ගානක් ගතවෙලා ගියත් මට ඒ ටික බලන්න හොද වෙලාවක් ආවෙ නෑ. ඉතින් මන් හිත හිත හිටියෙ මේ වැඩේට කොහොමද මන් හොද වෙලාවකුයි, තැනකුයි හොයා ගන්නෙ කියල. නන්ගියි මමයි පාඩම් කලේ එක කාමරේ. අපි දෙන්නම නිදා ගත්තෙ අම්ම එක්ක. ඉතින් මට අවස්තාවක් තිබුනෙම නෑ මේ ටික ඉක්මනට කියවන්න. ඔහොම දහ අතේ කල්පනා කර කර ඉන්නකොට මට හොද අදහසක් ආව. ඒ තමයි වෙන ලොකු පොතක් ඇතුලට ඒ ලියුම් දාල ඒ පොත බලන විදිහට ලියුම් ටික බලන්න.ඊට පස්සෙ මගේ ඊලග ස්ටෙප් එක උනේ හාෆ් ශීට් කොලයක් ඇතුලට දාල බලන්න පුලුවන් පොතක් හොයා ගන්න එකයි. ඉතින් ඒකටත් තව කාලයක් වැයකරල අන්තිමට මට හම්බුනා හොද ලොකු පොතක්. ඒ තමයි 'අනගාරික ධර්මපාල' තුමාගෙ චරිත කථාව. පොත බොහොම වටිනා වැදගත් එකක්. අපේ සීය තමයි දවසක් එයාගෙන් ඉන්ග්‍රීසි ඉගන ගන්න ගියාම මට ඒ පොත දුන්නෙ. තද දුඹුරු මිශ්‍ර රතු පාට පිට කවරයක රත්තරන් පාට අකුරින් 'ශ්‍රීමත් අනාගාරික ධර්මපාල උතුමානණ්' කියල තමයි පොතේ ලියල තිබුනෙ. එතුමාගෙ උපතේ ඉදල අවසාන කාලය දක්වාම ලියල තිබුන ලොකු පොතක් ඒක. සීය මට දුන්න දවස්වලම මන් ඒක කියවල තිබුනෙ.

අපේ රටේ ඒ කියන්නෙ ශ්‍රී ලන්කාවෙ හිටපු අපේ රටට ලොකු සේවයක් කරපු වීර චරිතයක් තමයි 'අනගාරික ධර්මපාල' තුමා කියල කියන්නෙ. ඉන්දියාවෙ අප ලොව්තුරු බුදු රජානණ් වහන්සේ බුද්ධත්වයට පත් උන 'බුද්ධගයාව' නැවත් බෞධයන්ට වදින්න පුදන්න ඉඩ ලබා දුන්නෙ එතුමාගෙ අතිමහත් උත්සාහයෙන්. ඒ වගේම අපේ රටේ වගේම ලෝකයේ අනික් රට වල පවා 'බුද්ධාගම' පිලිබදව දැනුවත් කිරීම් කටයුත් කලා. මේ කටයුතු එතුමන් කරගෙන ගියෙ බාධක ගොඩක් මැද්දෙ.පොදු අරමුනක් වෙනුවෙන් වැඩ කලා උනත් එතුමාට ලැබිය යුතු සහයෝගය ගොඩක් දුරට ලැබුනේ නෑ කියලයි සදහන් වෙන්නෙ. ඒත් එතුමා බොහෝ මිනිස්සුන්ගෙ හිත සුව පිනිස තමන්ගෙ පෞද්ගලික ජීවිතය පවා කැප කලා.වෙනත් රටවල ධර්මය ප්‍රචාරය කරද්දි, හෙන් රි ඕල්කට් තුමා කියන්නෙ එතුමාට ගොඩක් සහයෝගය දක්වපු තවත් දැවැන්ත චරිතයක්. 'අනගාරික ධර්මපාල' තුමා ගැන වැඩි විස්තර දැනගන්න ඕනෙ නම් මෙන්න මේ වෙබ් අඩවියට ගිහින් බලන්න. http://anagarika.dharmapalappa.lk/profile/index_en.htm

ඉතින් මන් මේ ලියුම් ටික අරන් බලන්න යද්දි මගෙ අත වෙව්ලල ගියා. පස්සෙ එතන උඩින්ම තිබුන ලියුම අරන් පොත ඇතුලට දාගත්ත. හරිම ලස්සන පැහැදිලි අත් අකුරෙන් තමයි ලියුම ලියල තිබුනෙ. අම්ම තාත්තට ලියපු ලියුමක්. හාෆ් ශීට් කොලේ දෙපැත්තෙම ලස්සන අකුරින් ලියල තිබුන. ඒ ලියපු අකුරු දැක්කම මට දැනුනෙ නිවී සැනසී යන හැගීමක්. ඒ තරමට හරිම පිරිසිදුයි පැහැදිලියි. ඉතින් කියවගෙන යද්දි තිබුනේ අම්මගෙ විස්තර ටිකක. එයා වැඩ කරපු තැන දේවල්, ගෙදර ඉදල වැඩට ආපහු ආව දවස්, ඒ එනකොට යාළුවන්ට ගෙනාපු දේවල් වගේ ඒව තම්යි ලියල තිබුනෙ. ඉතින් ඔය විදිහට නිවී සැනසිල්ලෙ මට ලියුම් කීපයක් කියවන්න පුලුවන් උනා නන්ගිගෙ ඇස් වලට වැලි ගහල. මන් කියවන්න පුටුව හැරෙව්ව දොර පැත්තට මූන දාන විදිහට. එහෙම කලේ කවුරුහරි දොරෙන් එනවනම් මට ඒකට සූදානම් වෙන්න පුලුවන් හින්දයි. කාමරෙත් ටිකක් විතර කොනකට වෙන්න වගේ තමයි හිටියෙ.එහෙම කියවද්දි මට හිතුනෙ අම්ම එයා ලියුම් ලියපු පිලිවෙලට ලියුම් ටික ඇරේන්ජ් කරල තියෙනව කියල. ඉතින් අම්ම ලියපු ලියුමයි, තත්තගෙන් ඒකට ආව පිලිතුරයි එක ලග ලියුම් වල හරිම පිලිවෙලට තිබුන. ඉතින් ඒක එයාලගෙ ලොකු දුවට ගොඩක් පහසු උනා කියවන්න. දෙන්නගෙන් එක්කෙනෙක් වත් රොමෑන්ටික් දේවල් නොලිය හරිම වැදගත් විදිහට අදහස් හුවමාරු කරගෙන තිබ්බෙ මන් කවදහරි බලයි කියල නිකන් හිතිල වගෙයි.

අම්මගෙ අකුරු ලස්සනට මුතු ඇට වගේ තිබුනත්, තාත්ත ලියපුව කියවන්න මට ගොඩක් වෙලා ගියේ ඒ අකුරු තේරුම් ගන්න අමාරු උන හින්දයි. වම් පැත්තට ලියපු ඇල අකුරු තමයි තාත්ත ලියල තිබ්බෙ. කවුරු හරි කාමරේට එනවද බලන්නයි, ඒ ලියපුව තේරුම් ගන්නයි ගියාම මට වැඩෙත් එපා උනා. ඉතින් සමහර තාත්ත ලියපු ලියුම් මන් බැලුවෙ නැත්තෙ අම්ම කොහොම කියෙව්වද කියල හිත හිත. ඉතින් මේ විදිහට කියවන්න ලියුම් ගොඩක් මට තිබුන. මන් භාගෙකටත් වඩා කියවල ඉවර කලා. ඔය විදිහට දවස් ගානක් පොත කියෙව්ව. ඉතින් නන්ගිට පොඩ්ඩක් සැක හිතුන මන් මෙච්චර කල් හරිම උනන්දුවෙන් මොකද මේ වගේ පොතක් බලන්නෙ කියල. දවසක් පොර අහනව 'තමුසෙට ඔච්චර ආස හිතෙන දේවල් ඔය පොතේ කියවන්න තියෙද' කියල. මන් ඔව් කියල බැනල පන්නගත්තත් පොරට සැකේ තිබුන. ඉතින් මාත් පරිස්සමින් බැලුවත් දවසක් මේකි එකා පාරටම කාමරේට දුවගෙන ඇවිත් පොත ඇදල ගත්ත. එවෙල බල බල හිටපු ලියුමයි, ඊලගට බලන්න හිටපු එකයි පොත එක්කම බිමට වැටුනෙ මන් ආපහු අදින්න ට්‍රයි කරද්දි. එතකොට ඉතින් වැඩේ මාට්ටු. මෙයා ඒ ටික අහුල ගෙන කියවද්දි මට කරගන්න දෙයක් තිබුනෙ නෑ. ඉතින් මෙයාට අනික් ඔක්කොම කියවන්න ඕනෙ උනා. මෙයා මට වඩා අවුරුදු තුනකින් බාල හින්ද මන් කිව්ව තව අවුරුදු තුනකින් මගෙ වයසට ආවම කියවන්න කියල. ඒකට තද වෙච්ච ගමන් ගිහින් අම්මගෙ කනේ තිබ්බ. මන් ආපහු කතා කලත් ආවෙ නෑ.

ඊට පස්සෙ අම්ම කාමරේට ආවම මට හරිම ලැජ්ජයි. පස්සෙ මගෙන් ඒ ලියුම් ටික බැන බැන ඉල්ලුව. ඒක ගත්ත ගමන්ම අම්ම ඒ ඔක්කොම පිච්චුව. මට ලොකු දුකක් ඇතිඋනේ එච්චර කල් ලස්සනට ආසාවෙන් තියන් හිටපු ඒ මතක සටහන් මන් හින්ද නැති කරගත්ත කියල. ඒ ටික පුච්චද්දි මන් කිව්ව 'මන් එකයි බැලුවෙ. අනික් ඒව පුච්චන්න එපා' කියල. ඒත් අහන්නෙ නැතුව ඔක්කොම ගිනිබත් කලා. තව ඒ අතරෙ ලස්සන කාඩ් කීපෙකුත් තිබුන. ඉතින් ඉතුරු ලියුම් ටික මට බලන්න බැරි උනාට වඩා දුකක් මට ආවෙ මන් හින්ද ඒ ටික නැති උනානෙ කියන සිතුවිල්ලත් එක්ක. මන් හිතනව අම්ම මේ ගැන තාත්තට කියන්න ඇති කියල. ඒක හින්ද මන් දවස් කීපයක් තාත්ත එක්ක වැඩිය කතා කලේ නෑ. තාත්ත මොකුත් කිව්වෙත් නෑ. අම්ම වගේ කියල පත්තරේකින් කපල තාත්ත ලග තියාගෙන හිටපු මලක් අතේ තියාගෙන ඉන්න ලස්සන ගෑණු ළමය ඒ ගිනි ගොඩේ පිච්චුන හැටි මට තාම මතකයි.

ආදර ලියුම් වලට සම්බන්ද ඊලග සිද්දිය උනේ ස්කෝලෙ යන කාලෙදි. දවසක් අපි යාළුවො කට්ටිය ස්කෝලෙ ලග බස් හෝල්ට් එකේ ඉන්නකොට ට්‍රිප් එකක් යන පිරිමි ළමයි කට්ටියක් තුන්ඩු කෑලි වගයක් විසිකරල ගියා. ඒ ගිය වෑන් එකේ ජනෙල් වලින් එලියට ඔලුව දාල උන් කෑගැහුව 'නන්ගී අහුලගන්න' කියල. ඉතින් අපිත් ටිකක් වටපිට බලල ඒ තුන්ඩු අහුලගත්තම ඒවයෙ තිබුනෙ ෆෝන් නම්බර්ස් වගයක් එක්ක ඇඩ්ඩ්‍රස් කීපයක්.  ඉතින් අපිට මෙහෙම සිද්දියක් උන පලවෙනි වතාව හින්ද අපිට පුදුම සතුටක් දැනුනෙ. අපි කටිටියම තීරනය කලේ කෝල් නොකර ලියුමක් ලියල දාමු කියල. එතන ඇඩ්ඩ්‍රස් කීපයක් තිබුනත් අපි හිතුව එකකට විතරක් ලියුම ලියල බලන්න. ඒත් එක්කම අපි කට්ටියම එකම ලියුමෙ ලියන්නත් තීරනය කලා.ඉතින් පහුවදා ස්කෝලෙ ආවම ප්‍රධානම වැඩේ උනේ හොද වෙලාවක් බලල ලියුම ලියන එකයි.

ඉතින් අපි කට්ටිය පොතක කොල කීපයක් අරන් ලියුම ලියන්න පටන් ගත්තා. එක එක්කෙනාව හදුන්වාදීම තමයි මුලින්ම කලේ. ඊට පස්සෙ එයලගෙ විස්තරත් එක්කම එදා ඒ ගිය ට්‍රිප් එක ගැනත් අහල අපි ලියුම ලිව්ව. ඊට පස්සෙ ප්‍රශ්නෙ ආවෙ අපි කාගෙ ඇඩ්ඩ්‍රස් එකද එයාලට දෙන්නෙ කියල. ගෙවල් වල ඒව දුන්නොත් ගෙදර අය ලියුම කඩල බලන හින්ද අපි හිතුව බෝඩිමක ඉදල ස්කොලෙ ආව අක්ක කෙනෙක්ගෙ ඇඩ්ඩ්‍රස් එක දෙන්න. ඉතින් ඒ විදිහට බොහොම සතුටින් අපි ලියුම තැපැල් කලා. පස්සෙ දවසක කොල පහක් හයක් වත් ඇති කියල හිතෙන ලොකු ලියුම් කවරයක් ඒ අක්ක ගෙනත් දුන්න. ඊට පස්සෙ ලියුම කඩල බලන්න ලොකු හදිස්සියක් තිබුනත් ස්කොලේ ඇතුලෙදි කොහොමද ඕක කියවන්නෙ කියල කට්ටිය හිත හිත හිටියෙ. අදහස් කීපයකට පස්සෙ කවුරුත් එකග උනේ ස්කොලේ වොශ් රූම්ස් ඇතුලට ගිහින් කියවමු කියල. ලියුම කියවන්න අතට ගත්තම තමයි තරම තේරුනෙ හොදම භාශාවකින් ලියල තියෙන්නෙ කියල. කියවන්න සෑහෙන අමාරු දේවල් ගොඩක් ලියල ඒ මදිවට ඒවට ගැලපෙන පින්තූරත් ඇදල තිබුන.ඒත් අපි ඔක්කොම ටික හිනා වෙවී කියෙව්ව.එහෙම කියවල තීරන කලේ ආයෙ ඔය වගේ ගොන් වැඩ නොකර ඉන්නයි. අන්තිමට ඒ ලියුම ලග තියාගන්න කවුරුත් කැමති උනේ නෑ. ඒක හින්ද අපි ඒක ටොයිලට් එකට දැම්ම. කොහොම උනත් ඒ සිද්දිය ටික දවසක් යනකන් මතක් කර කර හිනා වෙන්න පුලුවන් උනා.අපි එක්කෙනාට වෙන වෙනම උනුත් රිප්ලයි කරලයි තිබුනෙ.පස්සෙ අපි එක එක්කෙනාට මඩ ගහන්න ඒවයෙ කොටස් පාවිච්චි කලා.

ඊට පස්සෙ ලියුමක් සම්බන්දයෙන් මන් පරිප්පුවක් කන්නෙ යාළුවෙකුට උදව්වක් කරන්න ගිහින්. ඉස්සර තිබුන පත්තරේක වෙනම පිටුවක් තිබුන අලුත් මිතුරු මිතුරියන් හදුනාගන්න. ඉතින් එයාලගෙ ෆෝන් නම්බර්ස් වගේම ඇඩ්ඩ්‍රස් එකත් ෆොටෝ එක එක්ක දාල තිබුන එයාලගෙ පොඩි විස්තරේකුත් එක්කම. ඔය පිටුව බලපු මගෙ යාළුවෙකුට ඕනෙ උනා එතන හිටපු හැන්ඩ්සම් පිරිමි ළමයෙකුට ලියුමක් ලියන්න. එයාගෙ අත් අකුරු එච්චර හොද නැති හින්ද එයා වෙනුවෙන් මන් තමයි ලියුම ලිව්වෙ. ඉතින් එයා කියපු දේ මන් ලිව්ව. එහෙම ලියල ඒ ලියුම මන් ගෙදර අරන් ගියෙ එදා ඒ මගෙ යාළුවට හවස ස්පෝට්ස් ප්‍රැක්ටිස් තිබුන හින්දයි. බෑග් එක එලියෙ තියල යද්දි කවුරු හරි ඇද්දොත් කියන බයට තමයි මන් ගෙදර ගෙනිහින් පහුවදා ගේන්නම් කිව්වෙ. ඉතින් මන් බෑග් එකේ ඇතුලෙම පොකට් එකක ලියුම දාල තිබුනෙ. ගෙදර ගිහින් වෙනදට වඩා ටිකක පරිස්සම් වැඩි තැනක් බෑග් එක තියද්දි නන්ගි බලන් හිටියත් මන් හිතුවෙ නෑ ඒ වැඩේ එයාට සැක හිතෙයි කියල.

එහෙම තියල සුපුරුදු පරිදි මන් නාන්න ගියා. ආපහු ඇවිත් කෑම කෑවට පස්සෙ ටිකකින් තාත්ත කතා කලා. කතා කරපු විදිහ ටිකක් වෙනස් හින්ද මට තේරුනා ලියුම අහුවෙලා තමයි කියල.මන් යද්දි තාත්ත ලග නන්ගි බොහොම සතුටින් ඉන්නව. ඇත්තටම මගෙ වැඩක් නෙවෙයි හින්ද මට බයක් හිතුනේ නැතැත් මට ලොකු ලැජ්ජාවක් හිතුනෙ ඒ ලියුම තාත්ත කියවපු හින්දයි. ඒකට පොඩි පොඩි සින්දු කෑලිත් ලියලයි තිබුනෙ. ඉතින් එවෙලෙ නන්ගි හිටියෙ ලොකු ජයග්‍රහනයක් ලැබුව එකියක් වගෙයි. පොරට හෙනම හැපි බඩුත් එක්කම වැරැද්දක් අහු උන එක ගැන. මගෙ හොද නම එතනම ඉවර හින්ද.තාත්ත මුලින්ම ඇහුවෙ එයයි අම්මයි මට ආදරේ නැද්ද කියල. අම්ම ඒ ලග පාතක හිටියත් මොකුත් කිව්වෙ නෑ. මන් කිව්ව එහෙම මොකුත් ප්‍රශ්නයක් නෑ කියල. ඊට පස්සෙ ලියුම පෙන්නල ඇහුවෙ ඇයි එහෙනම් දැන්ම මේ වගේ වැඩ කරන්නෙ කියලයි. පස්සෙ මන් ඇත්තම කියද්දි තාත්ත මාව විශ්වාශ කලා.නන්ගිට හෙන අවුල් මොකද එයා හිතපු දේ සිද්ද උනේ නැති හින්ද.

කොහොම උනත් බොහොම අමාරුවෙන් ලියපු ලියුම ඉරල වීසි කරන්න උනේ තාත්ත ඒක ලග තියාගන්න එපා කියල කියපු හින්දයි. මගෙ අත් අකුරු හින්ද ස්කොලෙ ටීචර් කෙනෙක් දැක්කොත් අනිවාර්යෙන්ම වැරැදි වෙන්න මන් කියල තමයි තාත්ත කරුනු පැහැදිලි කරල දුන්නෙ. ඉතින් ඔය සිද්දියෙන් පස්සෙ මන් ඒ වගේ කොන්ත්‍රාත් බාර ගන්න එක නැවැත්තුව.පහුවදා යාළුවට විස්තරෙ කියද්දි ඌ කිව්වෙ ඌ අනන්තවත් කරන වැඩේ මන් කරපු පලවෙනි දවසෙම අහු උනා කියලයි.

පස්සෙ කාලෙක මගෙ ප්‍රථම ප්‍රේමය වෙන්නෙ ඒක පාර්ශ්වික අදහසක්. ඇත්තම ලොකු ආදරයක් තමයි මට ඒ මනුස්සය ගැන ඇතිවෙලා තිබුනෙ. උරහිස් දෙක ඇතුලට ටිකක් අකුලගෙන ඉන්න හින්ද අනික් අය එක එක නම් කිව්වත් එයා තමයි මගෙ ලව් එක උනේ. ඒත් එයාට වෙන ගර්ල් කෙනෙක් ඉන්නව කියල දැනගන්නකොටත් මන් සිහින මාළිගා ගොඩක් දුරට හදලයි තිබුනෙ. ඉතින් හිත ඇතුලෙන් පිච්චෙනව වගේ හැගීමක් එක්ක මාස කීපයක් ගෙවිල යද්දි මගෙ පුරුද්දක් උනේ ඒ අයියට ආදර වැකි වලින් ලියුම් කවිත් එක්ක ලියන එකයි. කවදාවත් ඒව පෝස්ට් නොකර ලිය ලිය මන් ලගම තියාගත්ත. අන්තිමට ඒ වැඩෙත් නතර උනේ නන්ගිට ඒ ලියපු ලියුමක් අහුවෙලයි. හැම මගුලකට හෙනයක් වෙන්නෙ මේ වාතෙ තමයි කියල මට හිතුනෙ. කොහොම උනත් ඔය කෙනා ගැන හිත හිත ඉන්න එක මන් නතර කලේ දවසක් ගත්ත ෆොටෝ එකක් හින්දයි. ඒකෙ පේනව මගෙ ඒ දවස්වල තිබුන දුක්බර පෙනුම. ඉතින් මටම හිතුන මෙච්චර දුක් වෙන්නෙ මොන දේකටද කියල.



16. බිත්තර




















මේ මාතෘකාව ලියද්දිත් මට බිත්තර සුවද/ගද දැනෙනව වගේ උනාට මේ ගැන මන් ලියන්න හිතුවෙ මේ සම්බන්ධයෙන් කථා කීපයක් තියෙන නිසයි. පොඩි කාලෙම ඉදල මන් බිත්තර වලට කැමැත්තක් දැක්වූයේ නෑ. මේ සම්බන්ධයෙන් මුලින්ම මතකයේ තියෙන්නෙ බිත්තරයක් පොලවෙ ගහපු සිද්දියක්. හේතුව මොකක්ද කියල මට හරියටම මතක නැති උනත් එහෙම දෙයක් කරල අම්මගෙන් ගුටි කෑව කියල මතකයි.

මන් හිතන්නෙ බිත්තර වලට මුලින් මට අකැමැත්තක් ආවෙ ඒකෙ සුවද/ගද මට හරි ගියෙ නැති හින්දයි. ඒක නිසා ඒ දවස් වල උනත් මන් බිත්තර තම්බල කන්න කැමති උනේ නෑ. ඔම්ලට් එකක් හැදුවොත් කෑව මිසක්.ඒත් ඒක චෝරුවක් වගේ නැතුව තියෙන්න ඕනෙ.ඔය ප්‍රධානම හේතුව හින්ද මගෙ වැඩි කැමැත්තක් නැතුව තමයි මන් බිත්තර කෑමට ගත්තෙ.ඒ දවස්වල මන් මගෙ පිගානෙ වගේම තව කෙනෙක්ගෙ පිගානෙ බිත්තර තියෙනවටවත් කැමති උනේ නැත්තෙ මේ අවුල හින්දයි.ඉතාමත් ලගකදි තමයි මන් සමහර දේවල් මට පිලිකුලක් ඇතිඋනත් ඒ දේවල් ගැන එහෙම නොහිතන්න පුරුදු උනේ. 'තිත්තගල්ලේ ආනනදසිරි' හාමුදුරුවන්ගෙ බණකින් තමයි එහෙම උනේ. ඒ කියන විදිහට ජීවිතය දිහා අමාරුවෙන් හරි බලන්න පුරුදු පුහුනු කරගත්තොත් ලොකු සැනසීමක් නම් ලැබෙනව. කැමති කෙනෙක් ඉන්නවනම් උන් වහන්සේ දේශනා කරන බුදු දහම අහන්න පුලුවන් මේ ලින්ක් එකෙන්. සින්හල භාශාවෙන් තමයි තියෙන්නෙ.

මුල්ම කොටස අහනවනම්:


හිතේ මේ වගේ සිතුවිලි ගැන දැනගන්නවනම්:


ඒ කොහොම උනත් මට තවමත් බිත්තරයක් කෙනෙක් කනව දකිනකොට හරි මන් කෙනෙකුට කවද්දි හරි මුලින්ම ඇතිවෙන්නෙ පොඩි පිලිකුල් ගතියක්. ඒත් දෙවැනුව ඒක ගැන ඇත්ත හිතල ඒ ස්භාවය නැති කරන්න පුලුවන් දැන්. මේක කියවන ඔයා වෙන ආගමක කෙනෙක් නම් මන් මෙහෙම ලියන එක ගැන මොකුත් හිතන්න එපා. මගෙ ජීවිතේ ඇත්තම සිද්දි ලියද්දි මට මේ වගේ සිතුවිලි තදින්ම දැනුන දේවල්. ඒකයි මට මේවත් ලියන්න හිතුවෙ. ඒ වගේම බුදු දහම ගැන දැනගන්න කෙනෙකුටත් ප්‍රයෝජනවත් වෙයි.

ඉතින් බිත්තර ගැන ඊලග සිදුවීම ස්කෝලෙ යන කාලෙ නිතරම මූන දුන්න සිද්දියක්. ඒ දවස්වල අම්ම බිත්තර එක එක විදිහට හදල බලෙන් දුන්න. හදපු හැම දවසකම ගුටි නොකාපු එක විතරයි. නැත්නම් ඒ තරමට පස්සෙන් පන්නල වද දීල බැනල බිත්තර දුන්න. ඉතින් ඒ බිත්තර එක එක ක්‍රම වලට අම්ම දුන්න උනාට ඒ විදිහකටවත් මන් කැමති උනේ නෑ.අම්ම කිව්වෙ ඒ විදිහට දුන්නම තමයි පෝශණය වැඩි කියල. එකක් තමයි හාෆ් බොයිල් කරල ලුණු කුඩුයි ගම්මිරිස් කුඩුයි දාල බොන්න දුන්න එක. එහෙම හදන ඒ බිත්තර ශ්‍රාවය මට පෙනුනෙ ගොලුබෙලි සාරු වගෙයි. ඉතින් ඕක බොන්න බෑ කියල ඇඩුවත් වැඩක් උනේ නෑ.අනික් ක්‍රමේ උනේ කිරි කෝපි වලට බිත්තර දාල දුන්න එකයි. එහෙම හැදුවම ඒ එන උකු ගතිය හරිම අවුල්. ඒත් ඉතින් ස්කෝලෙ යන කාලෙ ඕව බොන්න උනා. හවස පන්ති හරි මොනවහරි තියෙනවනම්  උදේට බිත්තර සාරු බොන්න වෙන එක අනිවාර්ය උනා. ඔය ගොඩක් දවස්වලට උදේට අඩල හිතේ අමාරුවෙන් ගිය හින්ද ස්කෝලෙ ඇරිල ආවම අම්මයි, තාත්තයි කිව්ව උදේ හොදට කාල බීල ගිය හින්ද සුදු වෙලා, මූන එලිය වැටිල කියල. මට ඉතින් ඕව ඇහෙද්දි යකා නගිනව උදේ බිත්තර සාරු බීපු හැටි මතක් වෙලා. මන් තරහ වැඩි කමට මොකුත් නොකිය ඉන්නව.

ඉතින් ඔය විදිහට බිත්තර කමින් බොමින් ටික කාලයක් ගෙවිල ගියා. ඊට පස්සෙ ඇඩ්වාන්ස් ලෙවල් විභාගෙ කිට්ටු වෙලා ස්කෝලෙ ලග බෝඩ් වෙන්න උනා.ගෙදරදි එපා කියපු ගොඩක් කෑම එහෙදි කන්න උනේ නොකා හිටියොත් බඩගින්නෙ ඉන්න වෙන හින්දයි. එහෙදි ඒ ගෙදර වැඩ කරපු කෙනා බිත්තර හදල දුන්න විදිහ කොහොමත් මට ඇල්ලුවෙ නෑ. ඔම්ලට එකක් දැම්මත් කිසිම රහක් තිබුනෙ නෑ. බිත්තර තැම්බුවොත් එක බිත්තරේ කෑලි කීපයකට කපල තමයි බෝඩිමේ අපි කීප දෙනාට දුන්නෙ. ඉතින් ඔය වැඩෙන් උනේ මට තවත් බිත්තර කන එක එපා උන එකයි.

ඔහොම බිත්තරත් එක්ක කාලය ගෙවිල යද්දි මන් ගෙදර ආව දවසක් අම්ම කිව්ව වටලප්පන් හදමු කියල. ඔයගොල්ලො දන්නව වගේ වටලප්පන් කියන්නෙ බිත්තර ටිකක් වැඩිපුර ඕනෙ වෙන කෑමක්. ඉතින් අම්ම කිව්ව බිත්තර කීපයක් කඩල භාජනයකට දාන්න කියල. මන් ඉතින් බිත්තර කඩ කඩ භාජනේට දාද්දි එක බිත්තරේක මන් දැක්කෙ කහ මදේ රතු පාට වෙලා තියෙන ටිකක් අමුතු බිත්තරයක්. මට එක පාරටම හිතුනෙ කුකුළු පැටියෙක් හැදෙන එකක් කියලයි. ඉතින් මන් ඉක්මනට ගිහින් මේක අම්මට පෙන්නුවම කිව්ව ඒක විසි කරන්න කියල. ඊට පස්සෙ මන් අම්මට කිව්ව ඉතුරු බිත්තර ටික කඩන්න මට බෑ කියල.ඉතින් වටලප්පන් වැඩේ ඉතුරු ටික අම්ම කරල හැදුවට ඒ පාර මට ඒ වටලප්පන් කන්න හිතුනෙ නෑ. ඒ වැඩෙන් පස්සෙ මන් කවදාවත් වටලප්පන් කෑවෙ නෑ. ඊට කලින් ඒක මගෙ ප්‍රියතම වෙලා තිබුන කෑමක්.ඉතින් ඔය සිද්දියෙන් පස්සෙ මන් හිතුව බිත්තර කන එක සම්පූර්නයෙන්ම නවත්තන්න.

ඊට පස්සෙ මන් බෝඩිමට ගියාමත් මන් එතන ආන්ටිට කිව්වෙ මට බිත්තර හදන්න එපා කියලයි. අපේ ගෙදර අය වගේම එයත් කැමති උනේ නෑ බිත්තර කන එක නවත්තනවට. අපේ ගෙදර අය වගේම එයා කිව්වෙත් විභාගෙ දවස්වල හොදට කෑම බීම ගන්න ඕනෑ කියලයි. ඒ මොනව කිව්වත් මට ආයෙ බිත්තර කන එක කරන්න පුලුවන් දෙයක් උනේ නෑ. ඒ වෙද්දි මන් කුකුල් මස් කන එක නවත්තලයි තිබුනෙ. බිත්තර කන එක නවත්තන්න අවුරුදු කීපෙකට කලින් කුකුලෙක් මරන සිද්දියක් දැකලයි මන් මස් කන එක නතර කලේ. ඉතින් මන් එහෙම කුකුලු බිත්තර කාල මස් නොකා ඉන්නකොට ඒ බෝඩිමේ ආන්ටි විහිළු කරන්න පුරුදු වෙලා හිටියෙ මන් ලොකු කුකුලො එක්ක යාළුයි පොඩි පැටවු එක්ක තරහයි කියල. එයා ඒ කලේ විහිළුවක් උනත් මන් ඒ ගැන ඇත්තට හිතද්දි තමයි මේ සිද්දිය වෙලා මන් බිත්තර කන එක නැවැත්තුවෙ. ඉතින් ආයෙමත් මට බිත්තර කෑමට දෙන්න ගොඩක් අය මහන්සි උනා.

ඒ බෝඩිමේ හිටිය වැඩ කරන්න ආච්චි කෙනෙක්. එයා කිව්වෙ බිත්තර කෑවම හම ලස්සන වෙලා දිලිසෙනව කියල. ඒ මොනව කිව්වත් මන් ආයෙමත් බිත්තර කෑවෙ නෑ. බිත්තර කන එක නවත්තල ටික කලක් යද්දි මගෙ හිතට ලොකු නිදහසක් එහෙමත් නැත්නම් ඇගට සැහැල්ලු ගතියක් ආව.ඒ දවස්වල විභාගෙට ලොකු ප්‍රෙශර් එකක ඉන්නකොට වෙන සිදුවීමක් හින්ද එහෙම උනා කියල කියන්න බෑ. මට හිතුනෙ මන් ඒ නවත්තපු කෑම හින්ද මට එහෙම දැනුන කියලයි.

බිත්තර කන එක ඒ විදිහට නැවැත්තුවත් බිත්තර දාල හදන කේක්, බිස්කට්, අයිස් ක්‍රීම්, පේස්ට්‍රි වගේ කෑම නැවැත්තුවෙ නෑ වටලප්පන් ඇරුනම. ඉතින් සමහර අය විහිළු කලා ඒ ගැන කියල. ඒ වගේම අවුරුදු විසි පහකින් විතර බිත්තරයක් ආයෙමත් කැඩුවෙත් නෑ අර වගේ දෙයක් දකින්න වෙයි කියල. දැන් ගොඩක් අය බිත්තර එළවලුවක් විදිහට තමයි හදුන්වන්නෙ. පිරිමි කුකුල් සතෙක්ගෙ සම්බන්ධ වීමක් නැතුව කිකිලියගෙ ඩිම්බ පිටවීමක් හින්ද. එහෙම කිව්වත් මට විශ්වාසයක් තවම නෑ බිත්තරයක් කඩන්න තරම්. වැරදීමකින් හරි එතන කුකුලු පැටියෙක් හිටියොත් කියන හැගීම ඇතිවෙනව.

සමහර වෙලාවට මස් මාන්ශ කන අයත් එක්ක කෑමකට එලියට ගියාම ඒ අයට මන් කන බොන විදිහ කරදරයක් වෙනව. මොකද තෝරල බේරල කෑම ගන්න ගියාම ඒ අයටත් යම් කිසි කාලයක් බලන් ඉන්න වෙන හින්ද. ඒ වගේම ආයෙමත් ඇනවුම් කරන්න වෙන හින්ද.ඉතින් ඒ වෙලාවල් වල නිර්මාන්ශ වීමේ ආදීනව වගේම මස් මාන්ශ අනුභව කිරීමේ ගුන කතනයන් අහගෙන ඉන්න උනා. උන් මන් වෙනුවෙන් කාලයක් වෙන් කරල බඩගින්නෙ ඉන්න හින්ද මන් මොකුත් නොකිය අහන් ඉන්න පුරුදු උනා. දවසක් බිත්තර හින්ද ලොකුම අපහසුතාවයට පත් උනේ මගුල් ගෙදරක ගියාම. එහෙදි මට වතුර බොන්න උනේ කවුරුහරි බිත්තර කාල වතුර බීපු වීදුරුවක. ඒ වෙලාවෙ එතන තිබුන තත්වෙ එක්ක මන් ඒ වීදුරුව හෝදල බිව්වත් මට ඊට පස්සෙ වස අප්පිරියාවක් ඇතිඋනේ. එහෙම හිතපු හින්ද ඊට පහුවදාම මට අජීර්ණයක් ආව.

ඊට පස්සෙ බිත්තර සම්බන්ධයෙන් මතක තියෙන සිදුවීමක් වෙන්නෙ රස්සාවට ගියාම. බිත්තර සම්බන්දයෙන් හිනා යන දේකට තියෙන්නෙ මේ සිද්දිය විතරයි.ඉතින් ඒ ආයතනයේ අපිට දවල් කෑම දුන්න අපෙන් පොඩි ගානක් අය කරගෙන.හොද ප්‍රසිද්ධ තැනකින් තමයි එතෙන්ට කෑම දුන්නෙ. ඉතින් ගොඩක් අය දවල් කෑම ගෙදරින් ගෙනාවෙ නෑ. ඉතින් දවසක් කෑම කන්න ආව පිරිමි ළමයෙක් බිත්තර ඔම්ලට් එකකුත් පිගානෙ උඩින්ම තියාගෙන එයා ඉන්න මේසෙ වාඩි වෙන්න ආව. ඒ වෙලාවෙ මමයි තව කීප දෙනෙකුයි තව මේසෙක වාඩි වෙලා බලන් හිටියෙ අපේ අනික් යාළුවො ටික එනකම්. එතන් ලොකු ෆෑන්ස් කීපයක් දාල තිබුන. ඉතින් අර ඔම්ලට් එක ඒ දාල තිබුන ෆෑන් එකක හුලගට ගහගෙන යද්දි අපි කට්ටියටම හිනා ගියා. එතන හිටපු තව කීප දෙනෙකුටම හිනා ගියත් ඒ පිරිමි ළමයට ලැජ්ජ හිතුන මන් හිතන්නෙ.ඒ එක්කම අපි කතා කලේ බිත්තර ඔම්ලට් එකේ කොලිටි එක ගැනයි.


තව දවසක මගෙ උපන්දින උත්සවයක් අපේ ලොකු තාත්තගෙ දුව ලෑස්ති කලා එයාලගෙ ගෙදරදි. මන් ඒ දවස්වල ජොබ් එකට යන්න එහෙ නැවතිලා ඉන්නකොට. ඉතින් ඒ පාටියට අපේ තව කසින්ස්ල කීප දෙනෙක් තමයි ආවෙ. පවුලෙ පොඩි පාටියක්. ඉතින් මෙයා එදා කට්ටියට කෑම ලෑස්ති කලා. බැදපු බිත්තර වලින් තව මොනවද හදන්න තමයි මෙයා ලෑස්ති උනේ. ඉතින් කුස්සියට ගියාම අපි දැක්කෙ තම්බපු බිත්තරයක් අත පිහින රෙදි කෑල්ලකින් පිහ පිහ ඉන්නව. පොර හෝදල තිබුන රෙදි කෑල්ලකින් එහෙම කලත් දැන් අපේ කට්ටියට කන්න අප්පිරියයි. පස්සෙ කට්ටිය හෙන තර්ජන මැද්දෙ තමයි එදා බිත්තර කෑවෙ. මන් කිව්වෙ මන් හොද වෙලාවට බිත්තර කන්නෙ නැත්තෙ කියල.

Wednesday, 2 January 2019

15. බස් -කොටස් -02
















බස් කථා ගොඩක් තියෙන හින්ද මේ ලියන්න ඒකෙ දෙවැනි කොටස. ඒ වගේම අලුත් අවුරුද්දෙ ඒ කියන්නෙ 2019 ජනවාරි පළවෙනිදා ලියන මුල්ම කථාව. මේ කථා කොටස අලුත් අවුරුද්දට හොද ආරම්භයක් වෙයි කියලත් හිතනව. අද දවස ගොඩක් අයට නිවාඩු. මන් කලින් වැඩ කරපු ඔෆිස් එකෙත් අද නිවාඩු දවසක්. ඒත් දැන් ජොබ් එකේ වෙච්ච වෙනස්කම් නිසා මන් අද වරුවක් වගේ වැඩ. අවුරුද්දෙ පළවෙනි දවසෙ වැඩ කලොත් හොදයි කියල හිතුනා.

ලියන කතාවට භාහිරව මන් යමක් එකතු කරන්න හිතුවෙ අපි යවන සහ අපිට ලැබෙන සුභ පැතුම් පනිවිඩ ගැන.

සෝශල් මීඩියා නිසා දැන් සුභ පතන්න ලේසියි. ඒක හින්ද දැන් ගොඩක් අය කෝල් කරන්නෙ නෑ. ඉමේජ් එකක්, වීඩියෝ එකක් එහෙමත් නැත්නම් ස්ටිකර් එකක ලියපු මැසේජ් එකක් විදිහට තමයි සුභ පැතුම එන්නෙ. මට හිතුන දෙයක් මන් මේ ලියන්නෙ. මට ගොඩක් වෙලාවට මට ඔය කලින් කියපු ක්‍රම වලට ආව පැතුමක් මන් තව කෙනෙකුට යවද්දි මට හැගීමක් ඇතිවුනේ නෑ ඒ සුභ පැතුම ගැන. ඒක තවත් එක මැසේජ් එකක් යැවීමක් පමනයි කියලයි මට හිතෙන්නෙ.

මන් දන්නෙ නෑ ඔයාලටත් එහෙමද කියල. ඒත් මට හිතෙන්නෙ අපි කථා කරල දෙයක් කියද්දි හිතට යම් හැගීමක් එනව කියලයි. කෝල් කරනවටත් වඩා කාඩ් එකක් තැපෑලෙන් යවද්දි ඊට වඩා සතුටක් යවන සහ ලබන කෙනාට ලැබෙනව කියලයි මට හිතෙන්නෙ. ඒත් එහෙම කියල අපිට මේ තාක්ෂණය පාවිච්චි නොකර ඉන්නත් බෑ. මේ අලුත් ක්‍රම වලට කැමති අය තමයි තරුණ පරපුරේ ඉන්නෙ. ඒක නිසා අපි කෙනා අනුව මේ දේවල් පාවච්චි කලොත් හොදයි කියල මට හිතෙනව. අපිට පුලුවන් නම් හොදයි අපේ ආච්චි හෝ සීය කෙනෙකුට දුරකතන ඇමතුමක් දෙන්න, අපේ ලගම යාළුවෙකුට ලස්සන කාඩ් එකක් යවන්න නිකන්ම මැසේජ් එකක් යවනවට වඩා.

ඉතින් හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල මන් ඉත සිතින් ප්‍රාර්ථනා කරනව. මේ අවුරුද්ද ඔයාගේ සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටුවෙන අවුරුද්දක් වේවා.
නව වසරත් එක්ක විනෝද වෙනවත් එක්කම, කාලය ගෙවෙනවා කියන්නෙ මොකක්ද කියලත් හිතන්න. කාලය කියන්නෙ මිල කරන්න බැරි දෙයක්. ගෙවුන කාලය අපිට ආයෙමත් ගන්න බෑ. ඒක නිසා කලින් අවුරුද්දෙ අපි මේ කාලය කියන දේ හරියට පාවිච්චි කලාද කියන එක හිතන්න ඕනෙ. එහෙම නොවුනනම් මේ අවුරුද්දෙ කොහොමද මන් කාලය උපරිම ප්‍රයෝජනයට අරන් වැඩ කරන්නෙ කියන දේ ගැන පොඩි සැලැස්මක් හදා ගන්න කියලත් මන් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.

ඒ වගේම ඔයාට තව ජීවත් වෙන්න තියෙන කාලය තව ටිකකින් අඩු උනා කියලත් ඇත්ත හිතන්න පුරුදු වෙන්න කියල මන් පොඩි ඉල්ලීමක් කරනව. ඇත්තටම මන් එහෙම කියන්න හිතුවේ ඒ ක්‍රමේ ගොඩක් උදව් වෙනව අපේ වැරදි ගතිගුන අඩු කරගන්න. මොකද ඊට පස්සෙ අපිට උවමනා වෙනව ඉතුරු ටික කාලේ කාටවත් වරදක් නොකර සතුටින් ජීවත් වෙන්න. එහෙම නැත්නම් හැමදාම ජීවත් වෙනව කියල තමයි මිනිස්සු හිතන්නෙ. ඒ අනුව තමයි ක්‍රියා කරන්නෙ. මන් හිතනව ගොඩක් අය ඒ ඉල්ලීමට කැමති වෙයි කියල. ඒ විදිහට එක පාරක් හරියට හිතුවොත් ඔයාට තේරෙයි ඔයා දැන් මනුස්සයෙක් විදිහට කොතනද ඉන්නෙ සහ ඔයාට මේ අවට වටපිටාව, සමාජය වෙනුවෙන් තව කොච්චර යුතුකම් කොටසක් කරන්න ඉතුරු වෙලා තියෙද කියල. අලුත් අවුරුද්දෙ ලියන නිසා තමයි මට හිතුනේ ඔය වගේ දෙයක් ලියන්න. දැන් තියෙන්නෙ ඉතින් මගෙ බස් කතා ටික ලියන්නයි.

බස් වලදි එක එක වර්ගයේ මිනිස්සු දැක ගන්න ලැබුනා. සමහර අය වාඩි උන ගමන් නිදි කිරන්නො. සමහර අය ඇගට හේත්තු දාන්න එන ජැක්සන්ල. තවත් අය උදව් කරන්නො සහ තවත් අය හොරු. ඔය අතරින් වැඩියෙන්ම හිටියෙ නිදි කිරන්නොයි ජැක්සන්ලයි තමයි. මන් දන්නේ නෑ මේ තත්වය හැම රටකම වගේ තියෙද කියල නම්. ඒත් මන් දන්න තරමින් ආසියාතික රටවල පොදු ප්‍රවාහනවල යද්දි මෙහෙම අය ඉන්නව.

එහෙම නිදා ගෙන ආව කෙනෙකුට මන් දවසක් කිව්වෙ පොඩ්ඩක් එහාට වෙන්න කියල. මන් දැනගෙන හිටියෙ නෑ ඒ මනුස්සය වෙන ජාතිකයෙක් කියල. කොහොමහරි මන් කියපු එක තේරෙන්නෙ නැතුවෙ පොර එක පාරට නැගිට්ට.මට මොකක්ද කිව්ව. ඒක මට තේරුනේ නෑ. පස්සෙ ටිකකින් ආයෙ ඉද ගත්ත. හැබැයි බහිනකන්ම ඇහැරිල හිටියෙ.ඔය වගේ තව අය හිටියෙ කතා කරන්න එන අයයි. සමහර අයව වචනෙකින් දෙකකින් කන්ට්‍රෝල් කරන්න බෑ. ඉතින් වාක්‍ය කීපයක් කියන්න වෙනව. ඔය වෙලාවට කලේ අහන අහන හැම දේටම බොරු කියපු එකයි. බොරු කියන්නෙ කියල තේරෙන්නම කිව්ව. තවත් අයට කලේ අපි හොදටම නිදි බව අගවපු එකයි. ඒත් ඉතින් නිදිමත නැත්නම දිගටම එහෙම කරන්න බැරි හින්ද සැරෙන් සැරේ ඇහැරල බැලුව. එහෙම දවසක මට එහා පැත්තෙ හිටපු කෙනා කිව්වෙ 'ඔයාට කැඩි කැඩි නේද නින්ද යන්නෙ කියල?'. මට බකස් ගාල හිනා යන්න ආවත් පොඩි හිනාවක් දාල ආයෙ නිදා ගත්ත.

ඉතින් ජැක්සන්ලට ටිකක් සැරෙන් කතා කරල අපෙන් ඈත් කරන එක තමයි අපි කලේ. හැබැයි එහෙම කලේ යාළුවො ඉන්න වෙලාවට විතරයි. එහෙම නැති එක දවසක මන් කලේ මට වමනෙ යන්න එනව වගේ අගවපු එකයි. ඒ ක්‍රමේ හරි ගියා. ඒ මනුස්සයට මන් ගැන හෙන අප්පිරිය හිතුන. ගොඩක් වෙලාවට හයියෙන් කතා කරල බනින්න අපි අකැමැති උනේ එහෙම කරන කෙනාව අනික් අය විහිලුවට ගන්න නිසයි. වැරැද්ද කරන කෙනාට වඩා මානසික රෝගියෙක් වගේ පෙනුනෙ ඒ වැරැද්දට විරුද්ධව කතා කරපු කෙනයි. ඉතින් ඒක මන් මේ බස් සමාජයේ දැකපු නරකම තත්වයක් තමයි.
සමහර අය කලේ අපි යාළුවොත් එක්ක කතා කරන දේවල් අහගෙන හිටපු එකයි. ඒක වලක්වන්න අපිත් එක එක ක්‍රම යෙදුව. දවසක් අපි ජනේලෙන් එලිය බලල ටිකක් හෙමින් කිව්ව ලස්සන සරුන්ගලයක් කියල. එහෙම කිව්ව විතරයි එතන හිටපු කෙනා එකපාරට සරුන්ගලේ හොයන්න පටන් ගත්ත. පස්සෙ අපිට හිනා යද්දි පොරට වැඩේ තේරිලා අපි ඉන්න තැනින් ශේප් එකේ අයින් උනා.

තව දවසක් මන් ෆේස්බුක් එකේ පෝස්ට්ස් බල බල වාඩි වෙලා යද්දි එක පාරටම මට එහා පැත්තෙ හිටපු අන්කල් කිව්ව 'උඩට යන්න' කියල.මට හිතාගන්න බැරි උනා මොකක්ද මේ කියන්නෙ කියල.ෆේස්බුක් වෝල් එකේ තිබුන පෝස්ට් එකක් එයාට බලන්න තමයි එහෙම කියල තියෙන්නෙ. ඒ කියපු විදිහට මමත් ටක් ගාලා වෝල් එකේ උඩට ගියා. පස්සෙ එයාගෙ අදහස් කීපෙකුත් ඒ ගැන් කිව්ව. තව දවසක මට ඉස්සරහින් ඉද ගෙන හිටපු අන්කල් කෙනෙක් මට එයාගෙ ෆෝන් එකයි සිම් එකකුයි දීල කිව්ව ඒක දාල දෙන්න කියල. ඒ කෙනාගෙ පෙනුමෙන් මට හිතුනෙ හොදටම බීලයි ඉන්නෙ කියල. ඉතින් මන් කිව්ව මට තේරෙන්නෙ නෑ කියල.පස්සෙ ඒ මනුස්සයට හොදටම තරහ ගිහින් මට මොනවද කියල බැන්න. “ඉන්නෙ නම් කනේ වයර් ගහගෙන. ඒත් ෆෝන් එකකට සිම් එකක් දාගන්න බෑ” කිය කිය තව මොනවදෝ කිව්ව.

මේ සිද්දිය උනේ මන් පන්තියකට ගිහින් එනකොට. එදා මන් ලග මාරු සල්ලි නැතුව රුපියල් පන්සීයක වගේ ගානක් කොන්දොස්තරට දුන්නෙ. එතකොට එය මට තව ඊට ආසන්න ගානක් ආපහු ඉතුරු විදිහට දෙන්න ඕනෙ. ඉතින් කොන්දොස්තර කිව්ව මන් බහින්න කිට්ටු උනාම ඉතුරු දෙන්නම් කියල. ඉතින් ඔහොම ටිකක් දුර ගියාම මට එහා පැත්තෙ හිටපු අන්කල් කියනව 'මල්ලි, මේ ළමයගෙ ඉතුරු සල්ලි දෙන්න' කියල. කොන්දොස්තර කිව්ව 'හරි මහත්තය' කියල.ආයෙ ටිකකින් අර අන්කල් ආයෙමත් සල්ලි ඉල්ලුවම කොන්දොස්තරට තද උනා. දැන් පොර බනින්නේ මට "මන් සල්ලි අරන් බහින්නෙ නෑ. දෙන්නම්' කිව්ව. අර අන්කල් තමා ඒවට උත්තර දෙන්නෙ. පස්සෙ මන් කිව්ව 'අන්කල් දැන්ම ඉතුරු ඉල්ලන්න එපා. මන් බහිද්දි ගන්නම්' කියල. එහෙම කියල මන් මගෙ හොර නින්ද දැම්ම.

මන් වැඩට ගිහින් ආපහු එනකොට සමහර දවස් වල ටිකක් රෑ වෙනව. ඉතින් ගෙදරින් තිබ්බ ලොකුම ඉල්ලීම තමයි රෑ ගමන් බිමන් නවත්තන්න කියන එක. ඒ කොහොම කිව්වත් ඉතින් සමහර වෙලාවල් තිබුන මොන හේතුවක් නිසා හරි පරක්කු වෙලා රෑ එන්න සිද්ද වෙන. ඉතින් එහෙම ආව දවසට හොදට අහගන්න සිද්ද උනා. මේ වැඩෙත් උනේ ඒ වගේ දවසක. එදා සිකුරාද දවසක මන් ගෙදර එන්න ආව කොළඹ ඉදල. එදා බස් දෙකක එන්න උනා. පලවෙනි බස් එකෙන් බැහැල ඊලග එක එනකන් බස් ස්ටෑන්ඩ් එකට ගියාම එතන හිටියෙ පිරිමි කීප දෙනෙක් විතරයි.

වෙනද එන වෙලාවටත් වඩා රෑ උන හින්ද අපේ පාරෙ යන බස් ගොඩක් ගිහින් ඉවරයි. පැය භාගයක් විතර හිටියත් යන්න එකක් නෑ. ඉතින් මන් තාත්තට කතා කරල එතෙන්ට එන්න කිව්ව. ඒත් මට තාත්ත එනකන් ඉන්න බය හිතුන ඒ මිනිස්සු ගොඩේ. තාත්තට එන්න තව විනඩි තිස් පහක් විතර යන හින්ද මන් කලේ ඒ ලග තිබුන ඇදුම් කඩේකට ඇදුම් ගන්න විදිහට ගිය එකයි. ඒත් ඒ වෙලාවෙ ඒ අය කඩේ වහන්න හදන්ව. ඉතින් මන් විස්තරේ කියල ඇහුව තව ටිකක් වෙලා මට එතන ඉන්න පුලුවන්ද කියල. අනේ ඒ අය කිසිම අවුලක් නැතුව තාත්ත එනකන් හිටිය. තාත්ත බය වෙලා ඉක්මනට එන හින්ද මන් කිව්ව මෙහෙම කඩේක ඉන්නෙ හෙමින් එන්න කියල. මන් හිතන්නෙ එහෙම කිව්වම තවත් තද උනා. ඉතින් කොහොමහරි ඒ අයට ගොඩක් ස්තුති කරල මන් ගෙදර ආව. එද්දි අම්ම අඩනව. නන්ගිත් බනිනව. තාත්ත තරහ වැඩි කමට සයිලන්ට්. හම්මෝ...

දවසක් ඔහොම එනකොට ගේ ලගින් බහින්න කිලෝමීටර් පහක හයක දුරක් තියෙද්දි බස් එකේ ඉතුරු උනේ මමයි තව පිරිමි අය කීප දෙනෙකුයි විතරයි. ඉතින් මේ වෙලාවෙ මට ගොඩක් බය හිතුනෙ ඒ දවස්වල එක රටක ගෑණු ළමයෙක්ව බස් එකක් ඇතුලෙ සමූහ දූශණයකට ලක් වෙලා තිබුනෙ එයාගෙ බෝයි ප්‍රෙන්ඩ් ඉන්න කොටමයි. අපේ රටෙත් ඒ වගේ අපරාධ ගොඩක් සිද්ද උනා බස් ඇතුලෙදි. මේ වෙලාවෙ මට මේ සිද්දිය මතක් උනාම කියන්න බැරි තරම් බයක් ඇතිඋනා. ඊට වඩා අවුල් උනේ මන් පිටිපස්ස බැලුවම. මන් නිකන් බැලුවම එතන හිටපු හෙන අවුල් ලුක් එකක් තියෙන එකෙක් නෝන්ඩියට හිනා උනා. සමහරවිට තේරෙන්න ඇති මන් බය වෙලා ඉන්නෙ කියල. පස්සෙ මන් බහින තැනින් බෙල් කරද්දි ඩ්‍රයිවරුත් හැරිල බලල අමුතු හිනාවක් දැම්ම. නවත්තන්නේ නැතුව ගියොත් මන් මොකද කරන්නෙ කියල මට හිතුනා.

මේ සිද්දිය උනේ මන් උසස් අධ්‍යාපනයට උදේක කොළඹ යද්දි. පාන්දර පහට තමයි බස් එකට නැග්ගෙ. එදා මගෙ යාළුව හිටියෙ නෑ. එදා අපිට විභාගයක් තිබුන දවසක්. ඉතින් අයි. ඩී එක අනිවාර්යයි. බස් එකට නැග්ගට පස්සෙ මට හිතුනෙ මන් අයි. ඩී එක අරන් නෑ කියලයි. ඒ එක්කම මන් බෑග් එකේ බැලුවත් මන් දැක්කෙ නෑ තියෙනව. ඉතින් මන් කලේ ඊට පස්සෙ තියෙන ටවුන් එකෙන් බැහැපු එකයි ආපහු ගෙදර යන්න. කලේ කොච්චර ගොන් වැඩක්ද කියල හිතුනෙ ඊට පස්සෙයි. මාත් එක්ක දහයක් විතර බැස්සට ඒ හැමෝම එක එක පැති වලට යන්න ගිහින් මන් විතරක් එතන තනි උනා. ආපහු ගෙදර එන්න බස් එකක් ආවෙ නෑ ගොඩක් වෙලා යනකන්.මට එවෙලෙ දැනුන බය කොච්චරද කියල කියන්න තේරුනෙ නෑ. ඒ දවස්වල මට මොබයිල් ෆෝන් එකක් තිබුන නැති හින්ද තාත්තට කියන්න විදිහක් තිබුනෙත් නෑ. ඉතින් ඔය විදිහට මන් අසරණ වෙලා ඉන්න කොට මට ඇහුන ටිකක් ඈතින් ඉන්න මිනිස්සු කීප දෙනෙක් කුණුහරුප කියනව. ඒ අය මන් ඉන්න හරියට එයිද කියල මන් පන බයෙන් හිටියෙ.

මට දැන් මොනව වෙයිද කියල හිත හිත ඉන්න කොට මන් ලගින් වෑන් එකක් නැවැත්තුව.ඒකෙ හිටියෙ තඩි මිනිස්සු දහයක් විතර. ඩ්‍රයිවර් ඇහුව 'නන්ගී කොහෙද යන්නේ? ඩ්‍රොප් කරන්නද" කියල. මන් කිව්ව එපා තාත්ත එනකන් ඉන්නෙ කියල. කතා කරපු විදිහෙන් මට තේරුනේ බීල හිටියෙ කියල. ටිකක් අමුතු විදිහට බලල කට්ටිය ගියා.ඉතින් තවත් බලන් ඉන්නෙ නැතුව එන මොකක් හරි බස් එකක යනව කියල මන් හිතුව.අයි.ඩී එක නැතුව හරි කමක් නෑ මන් ආයෙ කොළඹ යනව කියල හිතුවෙ ඊට පස්සෙ. ඊට ටික වෙලාවකට පස්සෙ තව කීප දෙනෙක් එතන හෝල්ට් එකට ආව.මට ලේ ටිකක් ඉනුවෙ ඊට පස්සෙ.එදා මොන පිස්සුවක්ද නැටුවෙ කියල මට හිතුනෙ කොළඹට ගිහින් අයි.ඩී එක තියෙනව කියල දැන්ගත්තම.ඒ කොහොම උනත් මට විභාගෙ ලියන්න බැරි තත්වෙට ඔළුව අවුල් වෙලා තිබුනෙ. පස්සෙ ලකුණු එද්දි හතලිස් ගානක් අරන් යන්තන් පාස් වෙලා තිබුනෙ.

මේ කියන්න යන සිද්දිය උනෙත් ඒ වගේ උදේක යද්දි. එදත් හොදටම පාන්දර. මන් ඉන්ටසිටි බස් එකකට නැග්ගෙ කොළඹ යන්න.නැග්ග ගමන් බස් එක ඇතුලෙ මෙලෝ යකෙක් නෑ. මට එක පාරම කිය උනා "කවුරුත් නෑනෙ " කියල. පස්සෙ කොන්දොස්තරට හිනා ගිහින් කිව්වෙ පිටිපස්සෙමෙ දෙන්නෙක් ඉන්නව කියල. හරියටම ඇතුල බලද්දි කොල්ලෙක්ව දැක්ක යන්තන්. දෙන්නෙක් ඉන්නව කිව්වට තව කෙනෙක් පෙනුනෙ නෑ. පස්සෙ මන් තව ටිකක් ඇතුලට යද්දි යාන්තමට දැක්ක කෙල්ලෙක් ඉන්නව. කවුරුත් හිටියෙ නැති නිසා උන් දෙන්නගෙ හැසිරීම බලන්න පුලුවන් තරම් හොද තත්වෙක තිබුනෙ නෑ. පස්සෙ කොන්දොස්තර බස් එකට කට්ටිය නගිද්දි මට හිනා වෙවී කියන්ව 'මේ තව කට්ටිය එනව' කියල. වස නෝන්ඩිය. මොනව කරන්නද ඉතින්.

ඊට පස්සෙ තව ඒ වගේ නොන්ඩි වෙන වැඩක් උනා. එදා මන් ඉදගෙන හිටියෙ. ස්කෝලයක් ලගින් ළමයි ගොඩක් බස් එකට නැග්ග. උන්ගෙ අතේ තිබුන පොත් ගොඩකුයි බෑග් එකකුයි දුන්න මට තියා ගන්න. ටිකකින් බෑග් එක එතන හිටපු ගෑණු ළමයෙක් අපහු ගත්ත එයා බහින් හින්ද. ටික දුරක් යද්දි මට එහා පැත්තෙ හිටපු කෙනත් බහින්න නැගිට්ට. ඊට පස්සෙ එතන හිටපු පිරිමි ළමයෙක් වාඩි උනා. පොරගෙ අතේ පොත්වත් බෑග් එකක් වත් තිබුනෙ නෑ. මගෙ අතේ ලොකු පොත් ගොඩක්.උන් කට්ටියම හොදට හිනා වෙවී තමයි ආවෙ. අපි ඒ කාලෙත් ඔහොමනෙ කියල හිත හිත සෑහෙන දුරක් ආවම අර ළමය බහින්න නැගිට්ට. ඊට පස්සෙ කියන්ව 'අක්කෙ, මන් බහිනව. පොත් ටික ආපහු දෙන්න පුලුවන්ද' කියල. එතන හිටපු ඔක්කොටම හොදටම හිනා.


මේ කතා ටික තමයි මගෙ මතකයට ආපු ප්‍රධානම සිද්දි ටික. සමහර දේවල් මතක් වෙද්දි හිනා ගියත් සමහර දේවල් නම් මොලේ අඩු වෙලා කරපු ගොන් කම් කියල හිතෙනව. ඊට වඩා කල්පනාවෙන් වැඩ කරන්න තිබ්බ කියල දැන් තමයි හිතෙන්නෙ.

25. විනෝද චාරිකා

පවුලෙ අයත් එක්ක මුලින්ම ගිය විනෝද චාරිකාව මොකක්ද කියල නම් මට හරියට මතක නෑ . ඒත් ඉස්සර අනිවාර්යෙන්ම දෙසැ...