Thursday, 7 March 2019

19. බෝර්ඩිම - කොටස් 01





















කලින් කථාවෙ බෝර්ඩිම ගැන් ටිකක් වැඩිපුර කථා ටිකක් ලියපු හින්ද මන් හිතුව මේ කථාවෙන් බෝඩිම ගැන ලියන්න. බෝඩිම ගැනත් ලියන්න කතා ගොඩක් තියෙන හින්ද මන් හිතුව කොටස් දෙකකට ලියන්න. ඒලෙවෙල් කරන්න ගිය ස්කෝලෙට ගෙදර ඉදන් කිලෝමීටර් විස්සක් විතර තිබුන හින්දයි ගොඩක් වෙලාවට හවස පන්ති තිබුන හින්දයි අපේ ගෙදර අය මාව විභාගෙ කිට්ටුවෙලා ස්කෝලෙ ලගම බෝඩිමක නැවැත්තුව. අපේ තාත්තගෙ යාළුවෙක් තමයි එතන හොයල දුන්නෙ. ඒ ගෙදර පරණ වලව්වක්. එතන හිටපු ආන්ටිගෙ හස්බන්ඩ් නැති වෙලයි හිටියෙ. එක ළමයෙක් ඇරෙන්න එයාගෙ ළමයි ඔක්කොම හිටියෙ පිටරට වල. ඒක නිසා එයාගෙ තනිවට තමයි ගෙදර ස්කෝලෙ යන ළමයි නවත්තගත්තෙ. ඒ වෙද්දි මට වයස අවුරුදු දාහතක් වගේ. ඒ අවුරුදු දාහතට අපේ ස්කොලේ ප්‍රින්සිපල් මැඩම්ට අමතරව මට හම්බුන ස්ට්‍රික්ට්ම ගැහැණු මනුස්සය ඒ ආන්ටි කිව්වොත් හරි. කොහොම නමුත් එතන ඉන්නකොට එයාගෙ නීති රීති එක්ක අපිව හොදටම හැදුන කිව්වොත් ඒත් හරි.

ලොකු ඉඩ ප්‍රමානෙක ඒ වලව්ව මුලින් තිබුනත් පස්සෙ කොටස් කීපයක් කඩ කීපෙකටයි ඩිස්පැන්සරියකටයි දීල තිබුන. එහෙම දුන්න උනත් ඒක ලොකු ගෙයක්. ඉතින් මුලින්ම කොච්චර ලොකු ගෙයක්ද කියල හිතාගන්න පුලුවන්. ආන්ටි කිව්වෙ ළමයි කාටවත් ඒ ගෙදරින් වැඩක් නැති නිසා එයාට ඒ ඔක්කොම නඩත්තු කරන්නත් බැරි හින්ද එහෙම දුන්න කියල. බොර්ඩිම කරන දවස්වල එයා ඉන්ග්‍රීසි පන්ති කලා.කොහොම නමුත් එයාගෙ වයසෙ හැටියට වඩා වැඩ කොටසක් කලා. ශක්තිමත් දිරිමත් කුල කාන්තාවක් කියල කියන්න පුලුවන්.

මන් ගෙදරින් පිට ඉන්න පළවෙනි වතාව උනේ මේ බෝඩිමේ නැවතීම තමයි. මාව බෝඩිමට එක්කන් යන්න අම්මයි, තාත්තයි, නන්ගියි තුන්දෙනාම ආව. කටිටිය මාව එතන නවත්තල ආපහු යද්දි මට හරිම අවුල්. ඉවසගන්න බැරි දුකක් දැනුනෙ. උගුර හිරවෙලා මැරෙන්න යනව වගේ දැනුනෙ. මාව බෝඩිමේ දාල එනකොට නන්ගි හිනා වෙවී කිව්වෙ එයාට දැන් ගෙදර රජා වෙන්න පුලුවන් කියල. ඒත් පොර ටිකකින් අඩල. එහෙම අඩල අම්මට කියල එයා මන් නිසා ඇඩුව කියල කියන්න එපා කියලත්. මන් හින්ද එයාගෙ ඇසින් කදුළු බින්දුවක් යන එක එයාගෙ තත්වෙට මදි කමක් නෙ. අම්ම කිව්වම මටත් හරිම සතුටුයි මන් වෙනුවෙන් එයා අඩපු එක ගැන.

ඉතින් එහෙම නැවතුන පළවෙනිම දවසෙ හරිම අවුල්. මොකද මන් අදුරන එක්කෙනෙකුට හිටියෙ එක යාළුවයි. අනික් අයව මන් දැනගෙන හිටියෙ නෑ. බෝඩිමේ කට්ටියට කාමර දෙකක් දීල තිබුන. ලොකුම කාමරේ හිටියෙ අපි හතර දෙනෙක්.එතනින් අපි තුන් දෙනෙක් ඒලෙවෙල්ස් කරනව. අනික් කෙනා එතන හිටපු එක්කෙනෙක්ගෙ නන්ගි. අනික් පොඩි කාමරේ හිටියෙ ජොබ් එකක් කරපු අක්ක කෙනෙක්. ඉතින් අපි දෙගොල්ලො අදුරගෙන ෆිට් වෙන්න ටික කාලයක් ගියා. ඊට මාස කීපෙකට පස්සෙ ඒ අක්ක එතනින් ගියාම ආන්ටි තව ස්කෝලෙ යන ළමයි දෙන්නෙක්ව ඒ කාමරේ නැවැත්තුව. ඊට පස්සෙ තමයි හය දෙනෙක්ගෙ ගැන්ග් එකක් එතන හැදුනෙ.

අනික් හැමෝටම වගේ බෝඩිමේදි මට තිබුන ලොකුම ප්‍රධාන ප්‍රශ්නෙ උනේ කෑම බීම. මොකද ගෙදරදි වගේ කන්නෙ නැති දෙයක් තිබුනොත් ආයෙ වෙන කන්න දෙයක් එතන තිබුනෙ නෑ. ඒක හින්ද ගොඩක් ගෙදරදි නොකාපු කෑම ජාති එහෙදි මන් කෑව. කෑව නෙවෙයි කන්න සිද්ද උනා කිව්වොත් හරි.දවල්ට උයන ව්යන්ජන අතරෙ සෝය මීට් ප්‍රධානයි. ඒ එක්කම තව තම්බල කන අල වර්ගයක් මාළුවක් විදිහට හදනව. ඒ අලේ තිබුන දවසට මට කෑම එපාම වෙනව.ඒ දවස්වල මන් මාළුයි බිත්තරයි කෑව උනත් මෙහෙ හදන ක්‍රමෙටයි තව හේතු කීපෙකුයි හින්ද මන් ඒව නැවැත්තුව. 'බිත්තර' පෝස්ට් එකේ තියෙනව වැඩි විස්තර.

ගෙදරදි උදේ ස්කෝලෙ එනකොට බඩ පැලෙන්න කාල බීල ආවත් මෙහෙ ස්කොලෙ ගිහින් පැයකින් විතර මට ආයෙමත් බඩගිනි හැදෙනව උදේට කන ප්‍රමානෙ මදි හින්ද. දවල්ට බෝඩිමට ඇවිත් බත් කන හින්ද ස්කොලේ ඉන්ටවල් එකෙදි කන්න බෝඩිමෙන් දුන්නෙ උදෙටම කාල යන පාන් හරි බත් හරිම තමයි. ඒ බත් එකේ ගොඩක් වෙලාවට තිබුනෙ ව්යන්ජන දෙකක් වගේ තමයි. පස් දෙනෙක් විතර උදෙට කෑම කාල ගෙනියන්නත් ගනිද්දි ගොඩක් වෙලාවට බත් හරි ව්යන්ජන හරි මදි.ඒත් අපි මොකුත් කිව්වෙ නැත්තෙ ඒක එතෙන්දි අමතර ආහර ගනයට වැටුන දෙයක් හින්දයි. ඒ වගේම අපි අනික් යාළුවො එක්ක කෑම මාරු කරන් කෑව හින්ද ලොකු ප්‍රශ්නයක් උනේ නෑ. කට්ටිය එක්ක කද්දි අපි කලේ මගෙ බත් එක එහෙමම තව කෙනෙක්ගෙ බත් ගොඩක් උඩට හලන එකයි. ඉතින් හැම සතියකම දවස් කීපයක් අපේ ගෙදරින් බත් එකක් එව්ව ස්කූල් වෑන් එකක ආව නන්ගි කෙනෙක් අතේ. දවස් කීපෙකට හරියන්න වගේ තමයි ඒ බත් එක අම්මයි තාත්තයි එවන්නෙ. යාළුවො කට්ටියත් කැමතියි ඒ කෑම එක කන්න. ඒ කොහොම උනත් අනික් බෝඩින් වල හිටපු ළමයි ගෙනාපු කෑම එක්ක බලද්දි අපේ බෝඩිමේ කෑම හොද තත්වෙන් තිබුන. බෝඩිමේ කෑම හින්ද අපිට කවදාවත් බඩේ අමාරු හැදුනෙ නෑ. ඒක හින්ද ගොඩක් දෙනෙක් අපේ බෝඩිම හොද තැනක් විදිහට තමයි පිළිගත්තෙ. අනික ඒක වලව්වක් හින්ද ඒ ආන්ටිටත් හැමෝම වගේ ගරු කලා.සැලකුව.

කෑම බීම වලට අමතරව අනික් ප්‍රශ්නෙ උනේ ටොයිලට් බාත් රූම් පරිහරනය කිරීම තමයි.ආන්ටිත් එක්ක ඔක්කොම කට්ටිය අට දෙනෙක් විතර හිටිය හින්ද උදේට බාත් රූම් යන්න පෝලිමක් තිබ්බ මොනවා කලත්. ගිහින් විනාඩි දහයකට වඩා හිටියොත් දොර ලග ඉදන් තව කවුරුහරි කෑගැහුව ඉක්මනට එන්න කියල. මන් මූන හෝදන්න ගියත් අනික් අයට වඩා වෙලා ගත්ත. ඒක හින්ද කටිටිය මට කිව්ව මුලින්ම හරි එහෙම නැත්නම් අන්තිමට හරි බාත් රූම් යන්න කියල. මුලින්ම ගියොත් උදෙන්ම නැගිටින්න වෙන හින්ද හැමෝම එක්ක කතා වෙලා මන් තමයි අන්තිමට බාත් රූම් යන්න තීරනය කලේ. ඒත් අපේ එවුන් ඔක්කොගෙම වැඩ ඉවර කරල යන්න ආන්ටි බලන් ඉන්න හින්ද මන් ගිහින් කොහොමත් විනාඩි පහලොවක් විතර යද්දි ආන්ටිගෙ බාත් රූම් සින්දුව ඇහෙනව. ඒක හින්ද බාත් රූම් වැඩෙත් හරිම ටෙන්ශන් එකකින් තමයි විභාග හුටපට අස්සෙ කලේ. ඒ අස්සෙම ආන්ටිගෙ බාත් රූම් නීති අනුගමනය කරන්නත් ඕනෙ. කොමොඩ් සීට් එක අපිට පාවිච්ච් කරන්න එපා කියන එක තමයි ප්‍රධානම නීතිය උනේ. ඒ ප්‍රධානම නීතිය තමයි මන් එහෙදි කැඩුවෙත්. මොකද කොමොඩ් සීට් එක නැතුව ඉද ගත්තම මගෙ පස්ස රිදෙන හින්ද මන් ඒ නීතිය කඩකලා.ඒ බාත් රූම් එක තිබුනෙ ආන්ටිගෙ කාමරේ ලගමයි. ඉතින් එයාගෙ අනික් නීතිය උනේ එය නිදි වෙලාවට අපේ බාත් රූම් වැඩ සද්ද බද්ද නැතුව කරන්න කියන එකයි. කොහොම උනත් බාත් රූම් නීති ටික නම් මානව හිමිකම් කඩන ඒව ටිකක්.

බිත්ති වල ඇන ගහනවට ආන්ටි කැමති උනේ නෑ. මදුරු නෙට් උනත් එල්ලල තිබුනෙ වහලෙ. මගෙ නෙට් එක එල්ලන කොක්ක දවසක් කැඩුනම අපි කට්ටිය ඇනයක් හොයන් බිත්තිය හිල් කලා ඒත්.එහෙම කරල කලු පාට ඇනෙයි බිත්තියේ හිලයි සුදු කලා බිත්තිය සුදු පාට හින්ද. රෑට පාඩම් කරද්දි අවම ලයිට් ප්‍රමානයක් පත්තු කරන්න කියන එකත් ආන්ටිගෙ එක නීතියක්.බාත් රූම් යන්න වෙන්නෙ ගෙයි කෑම මේසෙ ලගින් හින්ද අපි බාත් රූම් යද්දි එතන ලයිට් ටික දාගෙන තමයි යන්නෙ. ඉතින් විනාඩි කීපෙකට ඒ හරිය දවල් වගේ ඒකාලෝක වෙනව. ඉතින් ආන්ටි ඒ වෙලාවක ඇහැරුනොත් හිතන්නෙ පැය ගානක ඉදල ඒ ලයිට් අපි දාගෙන හිටිය කියලයි. අපි හය දෙනාම කරුනු පැහැදිලි කලත් එයා විශ්වාස කලේ නෑ. පස්සෙ අපි ටෝච් දෙකක් විතර ගෙනත් තියා ගත්ත ඒකට විසදුමක් විදිහට. ඉතින් ඒ තිබ්බ නීති ගොඩත් එක්ක අපි විනෝදෙන් හිටියෙ කට්ටිය සහොදරයො ටිකක් වගේ හිටපු හින්දයි. ඒක් හින්ද එතන තිබ්බ නීති රීති, අඩුපාඩුකම් අපිට දැනුනෙ නෑ.

බෝඩිමට ගිය මුල්ම දවස්වල මට එතන හරිම අපහසු තත්වයක් තිබුනෙ. කෑම කෑවත්, බාත් රූම් ගියත්, නිදා ගත්තත්, පාඩම් කලත් හරිම අවුල්. සති කීපයක් ඇබ්නෝමල් ජීවියෙක් වගේ හිටියෙ. පස්සෙ ඒ තත්වෙ හරි ගියේ යාළුවො ටික ෆිට් උනහම තමයි. හැම වැඩක්ම තනියෙන් කරගන්න පුරුදු වෙන්න උන එක තමයි ලොකුම අවුල උනේ. පස්සෙ ඒකත් ටික ටික හරි ගියා. ගිය මුල්ම දවස්වල කිලුටු ඇදුම් මන් එහෙදි හෝදන්නෙ නැතුව ගෙදර අරන් ආව. යනකොට හෝදගෙන අරන් ගියා. ටික කලකට පස්සෙ තමයි එහෙදිම ඇදුම් හෝදගත්තෙ. සමහර සති අන්තෙ මන් සපත්තු හේදුවෙත් නෑ මොකද තනියෙන කරගන්න තිබුන වැඩ වැඩි හින්ද. දවසක් ඒ කිලුටු සපත්තු දෙකත් දාගෙන හවස පන්ති ඇරිල එද්දි කොල්ලෙක් සපත්තු දෙක දිහා බලල 'ශී ශී' කියල අප්පිරිය මූනක් පෙන්නුව. ඊට පස්සෙ මන් නොවරදවාම සපත්තු හේදුව බෝඩිමේදි. ඊට කලින් ස්කොලෙන් කිව්වත්, ළමයින්ට අනිවාර්ය කරල තිබුනත් සපත්තු හෝදන්න හැම සති අන්තෙම කියල සමහර සතිවල මට කරන්න බැරි උනා. ඒත් අර කොල්ලගෙ රිඇක්ශන් එකට වස ලැජ්ජ හිතුන.


බෝඩිමේදි අපි හොර වැඩකට කලේ ලෑන්ඩ් ෆෝන් ලයින් එකෙන් කෝල්ස් ගත්ත එක තමයි. ආන්ටි ටිකක් විතර දැන්ගෙන හිටිය. ඒක හින්ද එයා කොහෙහරි ගමනක් යද්දි කියල යන්නෙ කෝල්ස් ගන්න එපා කියල. ආන්ටි කොහෙහරි දුර ගමනක් යද්දි අපි කට්ටියවම කැදවල නීති රීති ටික මතක් කරල දෙන එක එයාගෙ පුරුද්දක්. අපි කට්ටියම හරිම කැමතියි එහෙම දවස්වලට. මොකද එහෙම ගොඩක් දවස් වලට කෑම බීමත් ඒ ලග තිබුන රෙස්ටුරන්ට් එකකින් ගෙන්නගෙන කන්න පුලුවන් උනා.

No comments:

Post a Comment

25. විනෝද චාරිකා

පවුලෙ අයත් එක්ක මුලින්ම ගිය විනෝද චාරිකාව මොකක්ද කියල නම් මට හරියට මතක නෑ . ඒත් ඉස්සර අනිවාර්යෙන්ම දෙසැ...