Monday, 11 March 2019

20. බෝර්ඩිම - කොටස් 02

















ස්කෝලෙ යුනිෆෝම් එක ලස්සනට අයන් කරන වැඩෙත් හරියටම කලේ බෝඩිමේදි තමයි. මොකද ගෙදරදි ඒ ටික කවුරුහරි කරල දුන්න. ඒත් ස්කෝලෙ විශේශ වැඩක් තියෙන දවස්වලට බෝඩිමේ හිටපු ෆ්‍රෙඩෙක් තමයි හොදට ගවුම අයන් කරල දෙන්නෙ. ඌ හිතලම තමයි මන් වෙනුවෙන් ඒ සේවාව සපයන්නෙ.ඌම හිතල කලා උනත් බැන බැන තමයි කරන්නෙ. ගොඩක්ම නිදිමත වෙලාවට නෙට් එක නොදාම නිදා ගනිද්දි ඌම තමයි බැන බැනා පොරවල නෙට් එක දාල යන්නෙත්.තව දවසක මන් යන්න පාර දන්නෙ නැති තැනක තිබුන ටියුශන් පන්තියකට පලවෙනි දවසෙ එක්කන් ගියෙත් ඌ තමයි. ඒ කාරුණික වැඩ හින්ද අපි ඌට කිව්වෙ බෝඩිමේ අම්ම කියල. අපිට හිටපු හිත හොද එකා. බෝඩිමෙන් ආවට පස්සෙ අවුරුදු කීපයක් යනකන් කන්ටැක්ට්ස් තිබුනත් පස්සෙ කට්ටිය ආගිය අතක් නැති උනා. ඌ දැන්නම් කොහොමත් අම්ම කෙනෙක් වෙන්න ඇති.

අපිත් එක්ක හිටපු අනික් විශේශ කෙනා වෙන්නෙ ඕනෙම දේකදි බර කරට අරන් අක්ක කෙනෙක් වගේ වැඩ කරපු කෙනා. එයා ඉන්න එක අපිට ලොකු ශක්තියක් උනා. කොල්ලෙක් වගේ විදුලි වැඩ, යන්ත්‍ර සූත්‍ර වැඩ එයාට පුලුවන්. ආන්ටි අකැමැතිමත් ඌට. හැබැයි මොනවහරි කැඩුනොත් ශේප් එකේ කතා කරන්නෙත් ඌට තමයි. ඉතින් ඉදල හිටල දවසක වතුර නැතිවෙනව බෝඩිමට. ඉතින් ඌ තමයි ළිදෙන් වතුර ඇදල දෙන්නෙ. වතුර අරන් එන්නෙ. අපි ඔක්කොම ඒ වැඩේ කලත් එහෙම දේකදි ඌ තමයි එතෙන්ට පෙරමුන ගන්නෙ.අනික් දේ තමයි වතුර නැතිවෙන හැම වෙලේම ඌට කීප සැරයක්ම ටොයිලට් යන්න ඕනෙ වෙන එක. ඉස්සර අපි කට්ටිය ඇදුම් මාරු කරගෙන ඇන්ද. මන් ලග තිබුන සායකට මෙයා හරි කැමතියි. කීප දවසක්ම පන්ති ඇන්ද. දවසක් පොර තව යාළුවො කට්ටියක් එක්ක මගෙ ඒ සායත් ඇදගෙන ගියා ෆිල්ම් එකක් බලන්න. එහෙම යද්දි ස්කොලේ මැඩම් කෙනෙක් ඉන්නව දැකල ආපහු ආව. මට බැන බැන ආවෙ මගෙ සාය ඇදන් ගිය හින්ද ගමන වැලකුනා කියල.

අපිත් එක්ක හිටපු තව කෙනෙක් තමයි 'හොට්ටා'. වාස් කියලත් කිව්ව. 'හොට්ට' කිව්වෙ හැම වෙලේම වගේ හෙම්බිරිස්සාව හින්ද. වාස් කිව්වෙ එයා හෙන කැමැත්තෙන් හිටියෙ ඒ කාලෙ අපේ ක්‍රිකට් ටීම් එකේ හිටපු 'චමින්ද වාස්ට.පොරගෙ ඇදේ තිබුන කොට්ට දෙකෙන් බදා ගෙන නිදාගන්න කොට්ටෙට කිව්වෙ 'වාස්' කියල. අපේ කට්ටිය අතරින් ඌට තමයි ඒ දවස්වල මගුල් ප්‍රශ්න තිබුනෙ. පස්සෙන් එන කොල්ලෙක් එක්ක යාළු වෙනවද නැද්ද කියන එක තමයි හිතුවෙ. හිටපු අනික් අය ගැනනම් කියන්න විශේශයක් නෑ. උන් සාමන්‍ය විදිහට හිටිය.

ඉතින් බෝඩිමේදි වෙච්ච හිනා යන සිද්දි ගොඩක් තිබුන. පෙරහැරක් තිබුන දවසක තමයි ආන්ටිට වැඩ ගොඩක් වැඩි උනේ. එදා අපිටත් හරිම ජොලි. එක එක දේවල් කකා බිබී අපි පෙරහැර බැලුවෙ. චිලි චිලි ගාල සද්දෙ එන ලොකු බැලුම් අපි කට්ටියටම එක ගානේ ගත්ත. පස්සෙ ඒව අපි අපේ ඇද ලග එල්ලල තිබ්බ. ආන්ටිට එදා තිබ්බ ලොකුම වැඩේ උනේ අපි කට්ටියව එයාගෙ ඇස් මානෙ තියන් පෙරහැර බලන එකයි. මොක්ද කොල්ලො කීප දෙනෙක්ම බෝඩිමේ හිටපු නන්ගි දිහා බල බල හිටියෙ. අපේ කීප දෙනෙකුටම ෆෝන් නම්බර්ස් ලියපු චිට්ස් හම්බුනා කොල්ලො කීප දෙනෙක්ගෙන්. එතන හිටපු එක කොල්ලෙක් මන් දිහා බලල කිව්වෙ 'මෙයාගෙ කොන්ඩෙ නැති හින්ද මෙයාට දීල වැඩක් නෑ' කියල. ඒ දවස්වල මන් කොල්ලෙක් වගේ කොන්ඩෙ කොටට කපල හිටියෙ. ඉතින් එදා ආන්ටි අදුරන අය කීප දෙනෙකුත් එනව කියල තිබුන හින්ද එදා රෑ කෑම එයා හොදට හැදුව.මස් උයල තවජාති කීපයක් එක්ක බත්, ඉදි ආප්ප, ආප්ප තිබුන. මන් වෙනුවෙන් එයා සීනි සම්බෝලයක් හැදුව.

බෝඩිමේ හිටපු හැමෝටම වඩා ආන්ටි මට ආදරෙන් සැලකුව. එයාගෙ නීති රීති මන් අතින් එහෙ මෙහෙ උනාට මට කෑගැහුවෙ නෑ. අනික් උන්ව නම් මරන් කාපු නැති ටික විතරයි. සමහර දවස්වලට උන්ගෙ ගෙවල් වලටත් කෝල් කරල කිව්ව. අපේ අම්මයි තාත්තයි ආවම මන් ගැන් මොකුත් පැමිනිලි නෑ. අපේ තාත්ත ආවම 'ලොක්කෝ' කියල මට කතා කරන්නෙ. ඒත් ආන්ටි මොකුත් කියන්නෙ නැතුව හිනා වෙවී එලියට එනව. නැත්නම් එයා කැමති නෑ එයගෙ ගෙදර ඇවිත් එලියෙ ඉදල අනික් අයට අඩගහනවට. මන් තාත්තට කොච්චර කිව්වත් එහෙ ගිහින් ගෙයි දොරකඩ ඉදන් මට කථා කරන්න එපා කියල වැඩක් උනේ නෑ. ගොඩක් වෙලාවට සති අන්තෙ අපි කවුරුත් බෝඩිමේ හිටියෙ නෑ. ඒත් ඉදල හිටල ඉන්න වෙච්ච වෙලාවලුත් තිබුන ටියුශන් පන්ති හින්ද. එහෙම දවසක අපේ කට්ටියම ගිහින් මන් විතරයි හිටියෙ. මන් රෑ කාමර දෙකේම ලයිට් දාගෙන හිටියෙ එදා. ඒත් ආන්ටි මොකුත් කිව්වෙ නෑ. උන හැදිල දවසක් ඉන්නකොට කසාය එකක් හදාගෙන ඇවිත් බොනකන්ම හිටිය ඒක නොබී විසි කරයි කියල. මන් එයා වෙනුවෙන් කියල විශේශ හොදක් නොකලත් අනික් උන්ට වඩා මන් ගැන බැලුව.

ආන්ටිගෙ පුතා ලන්කාවට එද්දි අපි හැමෝවම ආන්ටි ගෙවල් වලට යැව්ව. ඉතින් අපි හිටපු අවුරුද්දෙ සති දෙකක් විතර බෝඩිම තහනම් කලාපයක් වෙලා තිබුනෙ. පුතා එනව කිව්වම ආන්ටි ගොඩක් ලෑස්ති උනා එයාව පිළිගන්න. ගෙදර තින්ත ගාල, මේස පුටු පොලිශ් කරල ගෙදර ලස්සන කරල තිබ්බ. එය තමන්ගෙ ළමයි වෙනුවෙන් කරපු කැපකිරීම් දැක්කම සමහවෙලාවට අපිට පුදුම හිතුන. මොනව උනත් අම්ම කෙනෙක්ගෙ කරුණාව තමයි ඒ වැඩවලින් පෙනුනෙ. තමන්ගෙ ළමයින්ගෙ සතුට, සුභ සිද්දිය උදෙසා එයත් දුක් වින්දා. ගොඩක් ප්‍රශ්න තනියෙම දරාගත්ත කියල මට හිතුනෙ පස්සෙ ඒව ගැන හිතනකොටයි.

ඉතින් අපි නටපු සමහර පිස්සු වැඩවලට ආන්ටිටත් පිස්සු හැදුන කිව්වොත් වැරදි නෑ. අපේ මේ බෝඩිම පාර අයිනෙම තිබුන හින්ද අපේ කට්ටියගෙ පුරුද්දක් තිබුන එතන තිබ්බ ජනේලෙකින් පාර දිහා බලන් ඉන්න. ආන්ටි කියල තිබුනෙ එතන ඒ ජනේලෙ අරින්න එපා කියල. ඉතින් කට්ටිය දවසක් දාඩියයි කියල ඔතන ජනේලෙ ඇරන් හිටිය. ඒ අතරෙ ඔතනින් යන එන අය දිහත් බල බල තමයි හිටියෙ. එහෙම ඉන්නකොට අපේ පන්ති ආව පිරිමි ළමයෙක් ඔතනින් ගියා. අපේ එකෙක් දැන් හෙන චැට් එකක දාගෙන ඉන්නව ඒ කොල්ලත් එක්ක ජනේලෙන් ඔලුව දාගෙන. අපේ වෙලාව හොද හින්දා ඒ වෙලාවෙම ආන්ටි වැඩේ දැක්ක. එයාගෙ තරහ වැඩි කමට කටට වචන ආවෙ නෑ. කටින් 'බොහ් බොහ්' ගාල සද්දයක් විතරයි ආවෙ.ඇස් දෙක ගිනි පුලුගු දෙකක් වගේ ලොකු වෙලා දිලිසුනා. එයා එතනට එද්දි මගෙ පපුව සීතල වෙලා ගියත් ඒක දකිද්දි මට හිනා මැරෙන්න.එයා ඒ වැඩේ දැකල විනාඩි කීපෙකින් පස්සෙ තමයි යතා තත්වෙට ආවෙ.ඊට පස්සෙ තමයි අපිට බනින්න පුලුවන් උනෙත්.කොහොමහරි බැනල බැනල ගියාට පස්සෙ කට්ටියටම මැරෙන්න හිනා ඒ ආව 'බොහ් බොහ්' සද්දෙට. පස්සෙ අපි ඒත් හිතුවෙ එච්චර තරහ ඇවිත් බැරිවෙලා හරි ප්‍රෙශර් වැඩි උනානම් කියල. මොකද ඉතින් තරහ ගන්න එපා ආන්ටි කියන්නයෑ.එහෙම කිව්වනම් ලග තියෙන අතට අහු උන දේකින් තමයි ගුටි කන්න වෙන්නෙ.සතියක් විතර යනකන් මතක් වෙන හැම සැරේම අපි ඔක්කොටම බැන්න. අපේ ගෙවල් වලටත් කියනව කියල කිව්වට එහෙම කලේ නෑ.එයාට හිටපු අන්තිම නරක ළමයි කට්ටිය අපි කියල තමා එදා එයා අපිව වර්ග කලේ.


එහෙදි උන තවත් අමතක නොවෙන සිද්දිය තමයි එහෙ ඇති වෙච්ච ගින්න. ඒ දවස්වල දොස්තරලට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න එපා කියල මොකක් හරි දෙයක් තිබුන. එහෙම තියෙද්දි අපිට අල්ලපු ඩිස්පැන්සරියෙ හිටපු ඩොක්ට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කලා කියල කවුද කට්ටියක් එතෙන්ට ගිනි තියල. කොහොමහරි එදා බෝඩිමේ හිටියෙ මමයි තව එක්කෙනෙකුයි. කට්ටිය අඩු හින්ද එදා මන් නිදා ගන්න ඇද මාරු කලා. එදා රෑ හීනෙන් වගේ ගින්දර ගොඩක එලි පේනකොට මට ඇහැරුන. එහෙම බලද්දි තමයි මට එහා පැත්තෙ කාමරේ ගිනිගන්නව දැක්කෙ. මන් එදා ඒ ඇදේ නිදා නොගත්තනම් ඒ ගින්න දකින්න හම්බවෙන්නෙ බෝඩිම ගිනි ගන්නකොටයි. ඉතින් මම යාළුවාවත් ඇහරවගෙන ආන්ටිට ගිහින් කිව්ව. පස්සෙ අපි ඒ ලග පාත තිබුන බඩු ටික ඔක්කොම අස් කලා. කොහොම උනත් ගින්දර අපේ පැත්තට පැතිරුනේ නෑ. ඒ අතර ආන්ටි කෝල් කරල පොලිසියෙනුත් ඇවිත් හිටියෙ. ඒ ආව අය කිව්ව වතුර දෙන්න කියල ගින්න නිවන්න.ඒ දවස්වල ආන්ටි රෑට වතුර වහනව. කොහොමහරි ඊට පස්සෙ තමයි ආන්ටි රෑට වතුර වහන වැඩේ නැවැත්තුවෙ.ඒත් එක්කම ගින්න දැක්කෙ මන් හින්ද මටත් ගොඩක් එයා ස්තුති කලා.

No comments:

Post a Comment

25. විනෝද චාරිකා

පවුලෙ අයත් එක්ක මුලින්ම ගිය විනෝද චාරිකාව මොකක්ද කියල නම් මට හරියට මතක නෑ . ඒත් ඉස්සර අනිවාර්යෙන්ම දෙසැ...