Wednesday, 26 December 2018

14. බස් -කොටස් -01














මීලගට මන් ලියන්න හිතුවෙ බස් සිද්දි ටිකක්. ලොකු කාලයක් බස් වල එහෙට මෙහෙට ගිය හින්ද ටිකක් කිව්වට කතා ගොඩක් තියෙයි මන් හිතන්නෙ. ලියද්දි තමයි මතක් වෙන්නෙ. ඒක නිසා බලමු එක කොටසකින් ලියන්වද නැත්නම් කොටස් දෙකක්ට ගන්නවද කියල.

ගොඩක් පොඩිම කාලෙ බස් එකකදි මට මතක තියෙන දෙයක් උනේ මෙන්නෙ මේ සිද්දිය. ඇත්තම කිව්වොත් මගෙ මේ වැඩේ හින්ද කීප දෙනෙක්ම හරිම අපහසුතාවයට පත් උනා. ඒත් උනේ හොද වැඩක් තමයි. ඉතින් දවසක් මමයි අම්මයි ගමනක් යන්න පිටත් උනේ බස් එකෙන්. කොහෙද ගියෙ කියල මට මතම නෑ. කොහොමහරි එදා බස් එක බස් ස්ටෑන්ඩ් එකේ නවත්තල තියෙද්දි අපි දෙන්න ගිහින් නැගල වාඩි උනා. අපි හිටිය සීට් එකට එහායින් තරුණ පිරිමි දෙන්නෙක් හිටියෙ. ඉතින් ටිකකින් මේ දෙන්න සිගරට් බොන්න පටන් ගත්ත. එතන තව අය කීප දෙනෙකුත් හිටිය. රජයේ බස් වල නෝටිස් එකක් දාල තියෙනව 'සිගරට් බීම තහනම්' කියල. ඉතින් මේ බස් එකෙත් රතු අකුරෙන් එහෙම ලියල තියෙනව මන් දැක්ක. මේක මන් දැක්කම මට හිතා ගන්න බැරි උනා ඇයි මේ දෙන්න සිගරට් බොන්නෙ කියල. පස්සෙ මන් අම්මගෙන් ඇහුව 'අම්මෙ ඇයි මේ දෙන්න සිගරට් බොන්නෙ. බස් එකේදි බොන්න එපා කියල ලියල තියෙනවනෙ' කියල. පොඩි කාලෙ දන්නවනෙ ඉතින් කටේ සද්දෙ පොඩි නෑනෙ.

ඉතින් මන් කියපු දේ සිගරට් බිබී හිටපු දෙන්නටයි අනික් ඔක්කොටමයි ඇහුන. අය අතරින් වැඩියෙන්ම අපහසුතාවයට පත් උනේ අපේ අම්ම. අම්ම මොකක්ද කියල මාව ශේප් කරන්න හැදුවත් මන් තව කීප සැරයක්ම දේ අම්මගෙන් ඇහුවෙ එයාගෙන් හරි උත්තරයක් ලැබුනෙ නැති හින්ද.ඒත් එක්කම අර සිගරට් ජෝඩුව බිබී හිටපු සිගරට් ජනේලෙන් විසි කලා. දැන් මට හිතාගන්න පුලුවන් උන් දෙන්නට මොන වගේ හැගීමක් ඇති උනාද කියල.ඊට පස්සෙ වෙච්ච ලැජ්ජාවට දෙන්න බස් එකෙන් බැහල යන්න ගියා. එහෙම නැත්නම් වෙන තැනකට යන්න ඇති සිගරට් බොන්න. පස්සෙ අම්ම දවස්වල හැමෝම එක්ක වගේ ඔය කතාව හිනා වෙවී කිව්ව.

ඉතින් දවස්වල කලාතුරකින් තමයි බස් එකක ගියෙ. මොකද ස්කොලෙට තිබ්බෙ පයින් යන දුරක් හින්ද. ඒක හින්ද බස් වල රටකජු කකා ස්කොලේ යන ළමයි දැක්කම මට හිතුනෙ මටත් බස් එකක ස්කෝලෙ යන්න තිබ්බ නම් කොච්චර හොදයිද කියල. ඉතින් මගෙ මේ සිහිනය සැබෑ උනේ හත වසරෙ ඉන්නකොට. හැබයි ස්කොලෙට තිබුනෙ කිලෝමීටර් දෙකක වගේ දුරක හින්ද විදිහට කකා බිබී යන්න නම් ලැබුනෙ නෑ. වගේම මන් හිතපු තරම් ගමන සුන්දර උනේ නෑ දවස්වල. ඉතින් ඔය වැඩේ උනේ ස්කෝලෙ ඇරිල එනකොට. කොහොමහරි ස්කෝලෙ ලගින් මන් නැගල ඉන්නකොට බස් එක නතර කරල තිබුනෙ තව කට්ටියව පටවගෙන යන්න. ලන්කාවෙ බස් එහෙම තමයි. වෙන රටවල වගේ සීට් ගානට නෙවෙයි මිනිස්සු ගන්නෙ. ගන්න පුලුවන් උපරිමයෙන් පටව ගන්නව. ඉතින් ඔහොම විනාඩි කීපයක් ඉන්නකොට ලොකු සෙනගක් බස් එක ඇතුලට නැග්ග. මොහොතින් මොහොත මට දැනුනෙ මගෙ හුස්ම හිර වෙන්න යනව කියලයි. සෙනග වැඩි වෙනකොට මාව මැරෙන්නම ගියා. ඉතින් මන් කලෙ බස් හෝල්ට් දෙකක් විතර ගිහින් නවත්තද්දි දඩි බිඩි ගාල බැහැපු එකයි. දවස්වල මන් ස්කොලෙට වගේම පලාතටත් අලුත්. ඉතින් මන් බහින්ව දැකපු මගෙ යාළුවෙකුත් එක්කම බැස්ස හින්ද ප්රශ්නයක් උනේ නෑ. ඊට පස්සෙ මන් ගියෙම සෙනග අඩු බස් වල. කොච්චර වෙලා ගියත් මන් බලන් හිටියෙ සෙනග අඩු බස් එකක් එනකන්. ඒක නිසා ගෙදර ඉදල පොඩි දුරක් තිබුනත් යන්න එන්න වෙලාවක් ගියා. යාළුවො මොනව කියල හිනා උනත් මගෙ පුරුද්ද වෙනස් උනේ නෑ. මට දවස්වල ලොකු බයක් තිබුන බහින්න බැරි වෙයි කියල. පුරුද්ද තවමත් තියෙනව. අදටත් සෙනග වැඩි බස් එකක යන්න මන් කැමති නෑ කොච්චර හදිසි දේකට ගියත්.

ඉතින් ඔය විදිහට ටික කාලයක් යද්දි වැඩේට පුරුදු උනා. යාළුවොත් එක්ක හිනා වෙවී යන්න එන්න පුලුවන් උනා. දවස්වල අපි අමතර පන්ති ගියා සෙනසුරදා ඉරිද. පන්ති පොත් ටික අතට අරන් තමයි ගොඩක් ළමයි ගියෙ. ඉතින් මාත් ආස උනේ පොත් ටික අතේ අරන් යන්න. වැඩේට අපේ ගෙදර අය කැමති උනේම නැත්තෙ බස් එකෙන් වැටෙන්න පුලුවන් එහෙම ගියාම කියල. ඒත් මන් ගියෙ පොත් ටික අතේ අරගෙන තමයි. එහෙම ගිය දවසක ගහපු බ්රේක් පාරකට බස් එක ඇතුලෙ වැටුනේ අම්මයි තාත්තවයි සිහි වෙලා. සීරිම් තුවාල කීපයක් සිද්ද උනා. ඊට පස්සෙ බෑග් එකක පොත් ටික දාගෙන තමයි පන්ති ගියෙ.  'ඇනටනොව්' වගේ නමක් තියෙන ප්ලේන් එකක් දවස්වල කඩා වැටිල තිබුන. ඉතින් අපේ මගේ යාළුවො ටික මන් වැටුන හැටි අනික් අයට පැහැදිලි කලේ 'ඇනටනොව්' යානය කඩා වැටුන වගෙයි කියල. ටික කාලයක් යනකන් කට්ටියට හිනා වෙන්න හොද මාතෘකාවක් උනා.

අනික වැඩේ උනේ ස්කොලෙ ඇරිල එනකොට බස් එකෙන් බහින්න යද්දි. අපේ ගෑණු, පිරිමි ළමයි කට්ටියම ඉන්න ස්කෝලයක්නෙ. ඉතින් ස්කෝලෙ ඇරිල ආපහු එන බස් එක යක් පිටියක් වගෙයි. කොන්දොස්තරට යකා වැහෙනව ඒව දැක්කම. ප්රෙශර් වගේ ලෙඩක් තිබුනනම් දවස්වල මනුස්සය මැරිල ගිහින්. ඉතින් අපේ ගේ ලග හෝල්ට් එකෙන් බහින්න මන් බෙල් එක ගැහුවට පස්සෙ අපේ එවුන්ගෙ පුරුද්දක් තිබුන දෙතුන් පාරක් බෙල් එක ගහන්න. ඉතින් ඩ්රයිවර් හිතන්නෙ කොල්ලො කොලොප්පමට බෙල් කරනව කියල එතන හෝල්ට් එකේ නවත්තන්නෙ නැතුව යන එක. ඒකෙන් මට උනේ හෝල්ට් එකක දුරක් පයින් එන එක. ඉතින් සගයො ටික බස් එකේ ඉන්න දවසට මට ටික දුරක් පයින් එන්න සිද්ද උනා.

අනික් සිද්දිය උනේ අපේ ස්කූල් බස් එකදී. සාමාන්යෙන් මන් ඔය බස් එකේ යන්නෙ නෑ. මොකද සෙනග වැඩි හින්ද. ඒත් එදා කට්ටිය අඩු උන දවසක මන් ඔය බස් එකේ ගෙදර එන්න ආව. දවස්වල අපේ ස්කෝලෙ හිටිය කපල් එකක්. දෙන්නගෙ ලව් එක හරිම ෆේමස්. මේ දෙන්නත් දවස්වල යන්නෙ එන්නෙ බස් එකේ. ඉතින් ළමයි ගොඩේ මැදට වෙන්න වගේ තමයි මේ දෙන්න හිටියෙ. බලන්නෙ නෑ වගේ පෙන්නුවට හැමෝම හිටියෙ දෙන්නගෙ වැඩ වලට රබර් ඇහැ දාගෙන.මාත් නොබලා බලමින් හිටියෙ.බස් එක ගහපු බ්රේක් පාරකට කට්ටියම ඉස්සරහට විසිවෙලා ආපහු එද්දි අය්ය අක්කට පොඩි කිස් එකක් කම්මුලට දුන්න. මන් දුටු සැනින්ම වෙන අතක් බලා ගත්ත.පහුවද කට්ටියගෙ ප්රධානම කතාව උනේ බස් එකේ කිස් එක තමයි. පස්සෙ කාලෙක අක්ක අපි ගිය ඔෆිස් වෑන් එකක ආව ගියා. එයාව දකින ගොඩක් වෙලාවට මට මතක් උනේ බස් එකේ කිස් එක.

පස්සෙ කාලෙක බස් එක අපිට ගොඩක් හොද තැනක් උනේ ලෙවෙල්ස් කරන්න වෙන ස්කෝලෙකට යද්දි. ගෙදර ඉදල කිලෝමීටර් විසි පහක් වගේ තිබුන නිසා ඒකෙ පැයක වගේ ගමනක් උනා.මේ අවස්තාව මට උදා උනේ සති අන්තෙ පන්ති වලට යද්දි විතරයි. අනික් දවස් පහ ගියෙ ස්කූල් වෑන් එකක නිසා. ඒත් හවස පන්ති ඉදල එනකොට ආවෙ බස් එකේ. යාළුවො කට්ටිය එක්ක එන යන ගමන හරිම විනෝදයි. බස් එකේ යන අනික් අය මොනව හිතුවත් අපි හොදට හිනා උන එක තමයි කලේ. ස්කෝලෙ ටීචර් කෙනෙක් හිටියොත් තමයි හිනා නොවී තමන්ගෙ පාඩුවේ ගියෙ. දවස්වල අපිට පැය ගානක් හිනා වෙන්න ලොකු හේතුවක් තියෙන්නෙ ඕනෙ උනේ නෑ. පොඩි පොඩි දේවල් වලට හිනා උන විදිහ දැන් නම් හිතා ගන්න බෑ. පරණ දේවල් මතක් කර කර හිනා උනා. එහෙමත් නැත්නම් බස් එකේ ඉන්න මනුස්සයෙකු මොකක් හරි දේකට හිනා උනා. එහෙම හිනා වෙද්දි ගොඩක් මිනිස්සු හිටියෙ මොකුත් කියන්න බැරි කමට. කලාතුරකින් කෙනෙකුට අපේ වැඩ වලට හිනා ගියා.

අපේ පිස්සො කට්ටියගෙන් අන්තිමට බහින්නෙ මන්. ඉතින් ඔය කට්ටිය බැස්සම කිලෝමීටර් පහක් විතර මට තනියෙන් එන්න වෙන්නෙ. දවසක් ඔය විදිහට අපි කට්ටිය හිනා වෙවී ඉදල බැහැල ගියහම බස් එකේ මට එහා පැත්තෙ ඉදන් හිටපු කොල්ල කිව්ව "දැනුත් හිනා වෙවී යන්නකො" කියල. ඉතින් වෙලාවෙ මට හයියෙන් හිනා යන්න ආවත් පොඩි හිනාවක් දැම්ම. අපි ලෙවෙල විභාගෙට යද්දිත් සාමන්ය ඔය විදිහට තමයි ගියේ. තාත්තා පලවෙනි දවසෙ මාව එක්කගෙන ගියා. ඊට පස්සෙ යාළුවොත් එක්ක බස් එකේ ගියෙ. ඉතින් ඔහොම හිනා වෙවී යද්දි එතන හිටපු මිනිස්සු දෙන්නෙක් කිව්ව "විභාගෙ ප්රශ්න පත්තරේ දැකල අඩන්න වෙයි" කියල.

මේ ලගදි දවසක කොළඹ ඉදල ගෙදර එද්දි ස්කෝලෙක ළමයි ගොඩක් බස් එකට නැග්ග. උනුත් පිස්සු නට නට ආවෙ. ඒ කාලෙ අපි වගේම පොඩි පොඩි දේවල් වලට මැරෙනකන් හිනා වෙවී ආව.උන් උන්ව අල්ලගෙන හිටගෙන හිටපු හින්ද බ්‍රේක් පාරක් ගැහුවම කට්ටියම ඉස්සරහටයි පස්සටයි යනව. ඒක බලන් හිටියම අපිට හිනා යන්ව. ඒ මොනව උනත් මට උන් ගැන මොකුත් තරහක් හිතුනෙ නැත්තෙ මට ඒ කාලෙ අපිව මතක් වෙලා. බස් එකේ අයත් මොකුත්ම කිව්වෙ නෑ උන් පැය ගානක් හිනා වෙවී ආවත්. එතකොට මට හිතුනෙ හැමෝටම මේ වගේ අතීතයක් තියෙනව කියල.උන්ට පේන්න හිනා නොවුනත් සමහර දේවලට මට හිතෙන් හිනා.ඒ කාලෙ අපි දිහා බලපු මිනිස්සුත් අද මන් වගේ එහෙම හිනා වෙන්න ඇති කියල මට හිතුන. මොනව උනත් උන්ගෙ වැඩ බලන් ඉන්න එක ජොලි වැඩක් උනා.

බස් කථා තව ගොඩක් තියෙන හින්ද මන් හිතුව ඒකෙ තව කොටසකින් ලිව්වොත් හොදයි කියල.

No comments:

Post a Comment

25. විනෝද චාරිකා

පවුලෙ අයත් එක්ක මුලින්ම ගිය විනෝද චාරිකාව මොකක්ද කියල නම් මට හරියට මතක නෑ . ඒත් ඉස්සර අනිවාර්යෙන්ම දෙසැ...