පොඩි
කාලෙ තිබුන තව පොඩි ආසාවක්
තමයි මාළු ඇතිකරන එක.
කොහොමහරි මාළු ටැන්කියක් ගේන්න
ඕනෙ කියල හිතුවත් අපේ
ගෙදර අය ඒකට කැමති
උනේම නෑ. මාළු හැදුව
වගෙයි නෙවෙයි ඊට පස්සෙ ටැන්කිය
සුද්ද කරන්න ඕනෙ, පූසගෙන් පරිස්සන්
කරන්න ඕනෙ වගේ තව
අමතර රාජකාරි ටිකක් මතු උනා. ඒත්
මන් එක හෙලාම කිව්වෙ
සාරි ගප්පි ටිකක් හරි පොඩි මුට්ටියකට
දාලවත් මට ඕනෙ කියල.
ඉතින් මන් කොච්චර ඉල්ලීම්
කලත් වැඩේ හරි ගියෙම
නෑ. ඒගොල්ලො හිටියෙ බෑ කියන මතේම
තමයි.
ඒත්
කොහොමහරි මන් හිතුව පාට
පාට ගප්පි ටිකක් හරි හදන්න ඕනෙ
කියල. ඒක නිසා මන්
මගේ අදහස ස්කෝලෙ යාලුවෙකුටත්
කිව්වම එයා කිව්වෙ එයාට
ගප්පි ටිකක් ගෙනත් දෙන්න පුලුවන් කියල. වැඩේට මට හරිම සතුටුයි.
ඉතින් එදා ගෙදර ඇවිත්
මුලින්ම කලේ පහුවදාට හම්බෙන
මාළු ටික දාන්න භාජනයක්
හොයපු එකයි. කොහොමහරි පොඩි මුට්ටියක් තමයි
හොයගන්න පුලුවන් උනේ. මොකද අනික්
ඒව දෙන්න අම්ම කැමති උනේ
නෑ. ඉතින් මන් කියපු ඒ
යාලුව හිටියෙ ස්කොලේ ලගමයි. ස්කොලෙ ඇරිල ගෙදර ගිහින්
එයා මාළු ටික අරන්
එන්නම් කිව්ව. මන් ඉතින් එදා
ස්කෝලෙ ඇරිල එයා එනකන්
හිටිය. ටිකකින් මගෙ ගප්පි පැටවු
ටිකත් අරන් ෆ්රෙන්ඩා
ආවෙ උන් ටික පොඩි
පොලිතින් උරේකට දාගෙන. එහෙ මෙහෙ පීනන
පාට පාට පොඩි සාරි
ගප්පි ටික දැක්කම මට
සන්තෝසෙ ඉහිලුම් නෑ. හරිම සතුටුයි.
මොකද කාලයක් තිස්සෙ හිතන් හිටපු වැඩේනෙ.
ඉතින්
එදා ගෙදර එන්න බස්
එක තෝරගන්න තව වෙලා ගියෙ
සෙනග අඩු බස් එකක්
හොය හොය හිටපු හින්ද.
ඇයි ඉතින් පරිස්සමට ගෙදර ගෙනියන්නත් එපායැ.
කොහොම කොහොම හරි මගෙ සිහිනය
සැබෑඋනා. කිසිම අතුරු අන්තරාවකින් තොරව කට්ටියව ගෙදර
අරන් ආව. ආව ගමන්
කලේ බොහොම පරිස්සම්ට උන් ටිකව ලෑස්ති
කරපු මුට්ටියට දාන එකයි. මගෙ
යාළුව හයිඩ්රිල්ල ගස් ටිකකුත් දාලයි
තිබ්බෙ. ඉතින් ඔය සේරම වතුර
මුට්ටියට දැම්මම හරිම වර්ණවත්. රතු,
කොල, කලු, තැබිලි කහ
වගේ පාට ගොඩක් තිබුන.
ඒත් ඉතින් අවුල් කීපයක්ම තිබුන. එකක් මාළු ටික
ඉන්නෙ මුට්ටියක් ඇතුලෙ. පිටින් බැලුවට උන් පීනන හැටි
පේන්නෙ නෑ. උන්ගෙ හැඩ
බලන්න ඒකෙ කොහෙත්ම හොද
ක්රමයක් නෙවෙයි. අනිත් එක උන් මුට්ටියක
ඉන්න එක මගෙ හිතට
හරි මදි. මොකද උන්
ලොකු ටැන්කියක ඉදලයි ආවෙ. මන් ලගට
ඇවිත් උන්ට සැප පහසුකම්
මදි උනා කියන එක
හිතෙන්න ගත්ත. ඒත් ඉතින් අද
හෙට ටැන්කියක් ලැබෙන පාටක් නෑ. මොකද කවුරුත්
කැමති උනේ නෑනෙ මේ
වැඩේට.
කොහොම
නමුත් මගෙ අදහස මෙහෙම
හරි ගොඩ ගිය එක
ගැන මට හරි සතුටුයි. උදේ
නැගිට්ට ගමන්මයි, ස්කොලෙ ඇරිල ආව ගමන්මයි
රෑ නිදා ගන්න කලිනුයි
මගෙ ප්රධාන වැඩේ
උනේ මාළුන්ගෙ තත්ත්වෙ බලන එකයි. යාළුවත්
හැමදාම වගේ ඇහුව කට්ටිය
ගැන. උන්ට කෑම බීම
දෙන හැටි ගැන කිව්වෙත්
එයා තමයි. ඉතින් ඔහොම දවසක මන්
දැක්කෙ ගප්පි කීප දෙනෙක් මැරිල
උඩ පා වෙවී ඉන්න
හැටි. ඉතින් මොන වැරැද්දක් හින්ද
මෙහෙම උනාද කියල මට
හිතා ගන්න බැරි උනත්
හිතට ලොකු දුකක් දැනුන.
ගෙදර අය කිව්වෙ උන්
ඉන්න තැන් හරි නෑ.
මුට්ටියේ ප්රශ්ණයක් හින්ද
මෙහෙම උනා වෙන්න පුලුවන්
කියලයි. පස්සෙ මගෙ යාළුව කිව්වෙ
ලුණු කැට කීපයක් දාන්න
කියල. එහෙම කලත් ආයෙ
දවස් කීපෙකෙට පස්සෙ මන් දැක්කෙ තව
කීප දෙනෙක් මැරිල ඉන්නව. එහෙමම විසි කරන්න දුක
හින්ද මිදුලෙ පොඩි වලක් කපල
උන්ව වල දැම්ම.
ඉතින්
මේකෙන් පස්සෙ මන් දිගින් දිගට
ඉල්ලුවෙ ඉතුරු වෙලා ඉන්න ටිකව
දාන්න මාළු ටැන්කියක් ගෙනත්
දෙන්න කියල.කොහොමහරි ඊට
පස්සෙ තාත්ත මට පොඩි මාළු
ටැන්කියක් ගෙනත් දුන්න. දවසක් තිස්සෙ හෝදල හෝදල වතුර
දාල ලුණු දාල තියල
ටැන්කිය ලෑස්ති කලා. දැන් ඒ
ප්රශ්නෙත් ඉවරයි. පොඩි සාරි ගප්පි
ටික වෙනදට වඩා සතුටෙන් ඉන්නව
කියල මට හිතුන. දැන්
ඉතුරු වෙලා ඉන්නෙ පොඩ්ඩක්
හින්ද මන් ආයෙමත් යාළුවගෙන්
ඇහුව තව ගප්පි කීප
දෙනෙක් දෙන්න පුලුවන්ද කියල. එය ඒකට කැමති
උනා. මාළු මැරුන එක
ගැන එයත් දුක් උනා.
ටැන්කිය තියෙන නිසා ආයෙ එහෙම
වෙන එකක් නෑ කියල
තමයි එයත් කිව්වෙ.ඉතින්
මේ පාර මගෙ යාළුව
ඇහුව එයාලගෙ ගෙදර ඇවිත් ගෙනියන්න
පුලුවන්ද කියල. ස්කොලේ ලගම වගේ හින්ද
මාත් කැමති උනා. හැබැයි ගෙදරට
නොකිය තමයි යන්න ලෑස්ති
උනේ.
එදා
ස්කොලේ ඇරිල තමයි මන්
එයත් එක්ක මාළු ටික
අරන් එන්න ගියෙ. පරක්කු
උනොත් ගෙදරින් හොයන හින්ද අපි
ස්කොලේ ලග ඉදන්ම දිව්ව.
පුලුවන් තරම හයියෙන් දිව්ව.
ලොකු බෑග් එකයි බෝතලෙයි
නැත්නම් හොදයි කියලයි හිතුනෙ. ඉතින් ඔහොම ටිකක් දුර
දුවද්දි තාර පාර අයිනෙම
මන් ඇදන් වැටුනෙ එතන
තිබුන දෙයක කකුල හැප්පිලා.
නැගිටිද්දි අත් දෙකයි කකුල්
දෙකයි තුවාල වෙලා ලේ එනව.
බය වැඩි කමට මට
ඇඩුනෙත් නෑ. එතන ලග
ගෙදර හිටපු ලමයෙකුයි එයාගෙ අම්ම කියල හිතන්න
පුලුවන් කෙනෙකුයි දුවල ඇවිත් බැලුවෙ
මොකද උනේ කියල. ඒ වෙලාවෙම ඒ
අය මට බෙහෙත් දාන්න
හැදුවෙ අත පය හතරම
තුවාල වෙලා ගවුමත් ඉරිල
ඉන්න හැටි දැකල වෙන්න
ඇති. ඒත් මට බෙහෙත්
දාන්න බය හිතුන. ඒක
නිසා ඒ ගොල්ලො පුළුන්
දුන්න තුවාල වලින් තියා ගන්න කියල.
ඔය ඔක්කොම අස්සෙ මගෙ යාළුවත් හොදටම
බය වෙලා හිටියෙ. එයා
කිව්ව මට බස් එකක්
එනකන් එයා ඉන්නම් කියල.
ඒ අතර අපි දැක්ක
මගෙ යාළුවගෙ අම්ම අපි ඉන්න
පැත්තට එනව මෙයා ගෙදර
එන්න පරක්කු උන හින්ද.
පරක්කු
වෙන හින්ද දිව්වට දැනටමත් පැයක් වගේ ගෙවිල ගිහින්.
ගෙදර ගියාම මොනව වෙයිද කියල
හිත් හිත තුවාල වලට
පුලුනුත් අලවන් ගෙදර යන්න පිටත්
උනා. ගවුමත් ඉරාගෙන අත පය තුවාල
කරන් ආපු මාව දැක්කම
අම්ම බය උනා. මන්
කිව්ව හවස පිට්ටනියෙ සෙල්ලම්
කරද්දි වැටුන කියල. ඊට පස්සෙ තමයි
මන් කරන්න බයෙන්ම හිටපු වැඩේට අම්ම ලෑස්ති උනේ.
මන් අලවපු පුලුන් ලේත් එක්කම තුවාලෙට
ඇලිල. කවුද දන්නෙ එහෙම
වෙයි කියල. ඉතින් අම්ම ඒවා ගලවද්දි
මට දෙය්යො සිහිඋනා. මර හඩ තියල
කෑගහල අඩද්දි ඒ ලග ගෙදරක
හිටපු ආච්චි කෙනෙකුත් ඇවිත් බැලුව. ඒ මනුස්සයටත් එවෙලෙ
ඇඩුන මන් අඩන හැටි
දැකල.කොහොමහරි මගෙ ජීවිතේ එපා
උනා ඒ තුවාල වලට
බෙහෙත් දාද්දි. නාන කොට අම්ම
තුවාලෙ සුද්ද කලේ මගෙ ගොන්
වැඩ වලට බැන බැන.
එතකොටත් මගෙ අත් කකුල්
ඔක්කොම රිදුන. මට පස්සෙ හිතුනෙ
ආයෙ මෙහෙම වැඩ නොකරන්නම අම්ම
එහෙම කලා කියලයි.
ඉතින්
අහන ඔක්කොම අයට මන් කිව්වෙ
පිට්ටනියෙ වැටුන කියලයි. දවස් කීපයකට පස්සෙ
නන්ගි ඇහුව "තමුසෙ බොරු නේද කියන්නෙ"
කියල. පොර කියනව එයාගෙ
යාළුවෙක් කිව්වලු බෙරයක් වගේ ලොකු වතුර
බෝතලයක් තියෙන අක්ක කෙනෙක් එයාගෙ
ගේ ලග වැටිල ඉන්නකොට
එයාල තුවාල වලට තියන්න පුළුන්
දුන්න කියල. එදා ඒ ගෙදර
හිටපු ළමය මෙයාගෙ යාළුවෙක්.
ඒකිත් මේකිගෙ යාළුවෙක් උනානෙ කියල හිත හිත
මන් බැන්නෙ මන් වැටුනෙ පිට්ටනියෙ
කියල. ඒත් දවස් කීපයක්ම
මගෙන් ඔය ගැන අහ
අහ හිටියත් මන් දිගට කිව්වෙ
එකම දේ.ඔය වැඩෙන්
පස්සෙ මාළු හදන වැඩේ
නැවතුනා.මට ආයෙමත් හිතුනෙ
නෑ මාළු අරන් එන්න.
මගෙ යාළුව ගෙනත් දෙන්න ඇහුවත් මන් එපා කිව්වෙ
එදා වුන දේට වෙන්න
ඇති. ඉතුරු වෙලා හිටපු ගප්පි
කීප දෙනත් ටික දවසකින් මැරිල
ගියාම මට හිතුන ආයෙ
ඕනෙ නෑ කියල.
ඉතින්
ඔහොම අවුරුදු කීපයක් ගෙවෙද්දි මට ආයෙ හිතුන
මාළු හදන්න. කලින් වගේ මේ පාර
කවුරුත් එපා කිව්වෙ නෑ.
ඉතින් කලින්ට වඩා ලොකු මාලු
ටැන්කියකුයි ලස්සන මාළු වර්ග කීපෙකුයි
අරන් ආවෙ සුරත්ල් මසුන්
හදන තැනකින්මයි. ඒ තැන ගැන
කිව්වෙත් මට ඉස්සර මාළු
දුන්න යාළුව. ඉතින් එක එක වර්ග
වල මාළු ගෙනත් උන්
පීනන හැටි බලන එක
මගෙ විනොදාන්ශෙ වෙලයි තිබුනෙ. මාළු ටැන්කිය සුද්ද
පවිත්ර කලෙත් මන්
මයි. ඒක නිසා ගෙදර
අයට කරදරයක් උනේ නෑ. කොහොම
උනත් තව කෙනෙක් මාළු
ටැන්කිය සුද්ද කරනවට මන් කැමති උනේ
නැත්තෙ තාත්ත ක්ලීන් කරපු දවසක පොඩි
මාළු කීප දෙනෙක් අඩු
වෙලා තිබිල. මන් හිතන්නෙ එයා
අතින් උන් වතුර එක්ක
අයින් වෙලා. ඒක නිසා මේ
වැඩේ වෙන කෙනෙකුට නොදී
මන්ම කලා. පස්සෙ ලස්සන
ගල්, වතුර මෝටර් දාල
ටැන්කිය හැඩ වැඩ කලා.
මේ
විදිහට මාළු ටැන්කිය එක
එක විදිහට හදන එක ඒ
දවස්වල තිබුන එක විනොදාන්ශයක් කිව්වොත්
හරි. ඉතින් දවසක් අපි හතර දෙනා
අම්මයි, තාත්තයි, නන්ගියි, මමයි ගමනක් ගිය
වෙලාවක කැට් ෆිශ් කෙනෙක්
ගෙනාව. උන් ඉන්න පරිසරයට
අනුව ලොකු වෙන මාළු
වර්ගයක්. තද අළු පාටයි.
බඩ මැදින් රිදී පාට ඉරක්
තියෙනව. ඉතින් ඌව ගත්ත ඒ
තැන ඉදල අපේ ගෙදරට
කිලෝමීටර් හතලිහක් විතර තිබුන නිසා
තාත්තා ඇහුවෙ වාහනේ උනත් ඌව ගේන්න
අමාරුයි නේද කියල. ඒත්
ලැබුන අවස්තාවේ ඌව ගෙදර ගේන්න
ඕනෙ කියල මට හිතුන
හින්ද අමාරු උනත් මන් බොහොම
පරිස්සමට අරන් ආවා. උන්
බය උනාම විනාඩි කීපයක්
හොදටම දගලනව. එද්දි එහෙම කීප පාරක්
උනා. ඉතින් ගෙදර ගෙනත් ටැන්කියට
දැම්මට පස්සෙ හරිම සතුටුයි. නැවක්
එහෙ මෙහෙ යනව වගේ
පෙනුනෙ. කැට් ෆිශ් හින්ද
ටැන්කිය තවත් කල එලි
උනා.එයාගෙ තිබුන ලොකුම ප්රශ්නෙ තමයි
සමහර වෙලාවට හොදටම දගලල දගලල එලියට
පනින එක. බිමට වැටිල
දගලද්දි ආපහු වතුරට දාන්න
ඌව අල්ලන එක ලේසි නෑ
උන්ගෙ ඇග ලිස්සන හින්ද.
ටැන්කිය
අස් කරන දවසට භාරදූරම
වැඩේ උනේ මෙයාව එලියට
ගන්න එක තමයි. මුලින්ම
පූසව කාමරේකට දාල දොර වහල
තමයි වැඩේ පටන් ගන්නෙ.
කොහොමත් තව කෙනෙක්ගෙ උදව්
ඕනෙ වෙනව කැට් ෆිශ්ව
එලියට ගන්නයි ආපහු ටැන්කියට දාන්නයි.
ඉතින් ඔහොම ටික කාලයක්
ඉන්න කොට මෙයා ගොඩක්
ලොකු උන හින්ද අපේ
ටැන්කිය මදි උනා. ඒක
නිසා පස්සෙ තවත් මාළු ඉන්න
ලොකු ඉඩක් තියෙන පොකුනකට
දැම්ම. ඒ අපේ බාප්පගෙ
ගෙදර හින්ද මට බයක් තිබුනෙ
නෑ. එහෙ යද්දි බලන්න
උනත් පුලුවන් නිස දුක උනත්
උගේ සුබ සිද්දිය උදෙසා
එහෙම කරන්න උනා. අවුරුදු දහයක්
වගේ ඒ කැට් ෆිශ්
ජීවත් උනා.අපි ඌට
ආදරේට කිව්ව 'කැටා' කියලයි. ඉතින් එයාව එහෙම දුන්නට
පස්සෙ මට මාළු හදන
එක ඕනේ නෑ වගේ
හිතුන. අනික් මාළු ටිකත් ඒ
පොකුනටම දාල මන් ටැන්කිය
අයින් කලා.
සමහරවිට
ඔයාලට මතක ඇති සැමන්
ටින් එකේ කවරෙට දාල
ඉන්න මාළුවගෙ පින්තූරෙ. ඉතින් මට ඕක දකින්
ගානෙ මතක් උනේ මගෙ
කැට් ෆිශ්ව. ඒක නිසා මට
සැමන් කන්න යද්දිත් මූව
මතක් වෙනව. අන්තිමේදි සැමන් කන එක නැවතුනේ
මේ 'කැටා' හින්දයි.ඒ වෙද්දි මන්
කොහොමත් මස් කන එක
නතර කරල භාගෙට වෙජිටේරියන්
වෙලයි හිටියෙ.

No comments:
Post a Comment