Thursday, 9 May 2019

24 කොණ්ඩෙ





















මාතෘකාව දිහා බැලුවම මේ ගැනත් කියන්න දෙයක් තියෙනවද කියල හිතුනත් ඇත්තටම කොණ්ඩෙ ගැනත් කියන්න විස්තර ගොඩක් තියෙනව.මුල්ම කාලෙ ඒ කියන්නෙ ළමා කාලෙ ඉදන් ටීනේජ් කෙනෙක්ගෙ වයස වෙනකන්ම කොල්ලෙක්ගෙ ගානට කොණ්ඩෙ කපල හිටියෙ. පොඩි කාලෙ ඒක ප්‍රශ්ණයක් නොවුනට ඒලෙවල්ස් පන්ති කාලෙ වෙනකොට කොටටම කපල හිටපු කොණ්ඩෙ හින්ද නොයෙකුත් සිද්දීන් උනා කිව්වොත් හරි.

ඉතින් පොඩිම කාලෙ අම්ම තමයි කොණ්ඩෙ එයාට පුළුවන් මෝස්තරේට කැපුවෙ.මොනව උනත් අම්මට කොණ්ඩා කැපීමේ හොද හැකියාවක් තිබුන කිව්වත් හරි. මොකද ඒ දවස්වල කාටවත් ඒකෙ විශේශත්වයක් පෙනුනෙ නෑ.කොණ්ඩෙ කපල ඉස්කෝලෙ ගිහින් ආවම අම්ම ඇහුවෙ කවුරුත් ඇහුවෙ නැද්ද කවුද ඔය කොණ්ඩෙ කැපුවෙ කියල. ඉතින් අපි නෑ කිව්වම අම්ම ඒකෙන් තහවුරු කරගත්ත එයාට කොණ්ඩා කැපීමෙ හැකියාවක් තියෙනව කියල.

කොහොම උනත් පස්සෙ පස්සෙ අපි ටිකක් විතර ලොකු වෙද්දි සැලෝන් එකකට ගිහින් කොණ්ඩෙ කැපුව. අපි ඒ දවස්වල හිටපු ගෙදර තිබුනෙ ටවුන් එකේම හින්ද ගෙදර ඉස්සරහ තමයි සැලෝන් එකත් තිබුනෙ. ඉතින් දවසෙ ඕනෙම වෙලාවක කට්ටිය වැඩි නැති වෙලාවක් බලල අපි ගිහින් කොණ්ඩෙ කපාගෙන ආව. ඒ ගිය හැමවෙලාවෙම තාත්ත බාබර්ට කිව්වෙ කණ ලගින් මූන දෙපැත්ත දැලි පිහියෙන් ගාන්න එපා කියල. මොකද පස්සෙ එතන කෙස් එයි කියල එයා බය උනා. කොණ්ඩෙ කපන්න ගිය හැමසැරේම තාත්ත ඒක බාබර්ට මතක් කලා. හරි හරි මහත්තය කියල ඒ මනුස්සය හිනා උනා. ඒ කොහොම උනත් දවසක් කොණ්ඩෙ කපද්දි ඒ කෙනා අතින් මගෙ වම් කණ කැපුනා. මන් හිතන්නෙ මන් ඔළුව එක විදිහකට තියාගෙන හිටිය නැතිහින්දා එයා අතින් කතුර එහෙ මෙහෙ උනා. ඉතින් කොහොමහරි මටත් වඩා බය උනේ ඒ මනුස්සය. මට බය වැඩිකමට ඇඩුනෙත් ගෙදර ගියාම. ඊට පස්සෙ මන් ඒ සැලෝන් එකට ගියෙ නෑ. ආයෙ කණ කැපෙයි කියල බයට වෙන සැලෝන්වලට ගියාට ඒවයෙ මට හිතට හරියන විදිහට කොණ්ඩෙ කැපුනෙ නෑ. ඒ කොහොම උනත් මන් ආපහු එතෙන්ට ගියෙත් නෑ.

ඉතින් ගොඩක් පොඩි කාලෙ ඒ විදිහට කොණ්ඩෙ කැපුවත් පස්සෙ කාලෙක කොණ්ඩෙ කපන්න ඕනෙ උනාම තාත්ත ගෙදරට බාබර් කෙනෙක් ගෙන්නුව.ඒ අන්කල් ආව දවසට නන්ගිගෙයි මගෙයි දෙන්නගෙම කොණ්ඩෙ කැපුව. මගෙ කොණ්ඩෙ කළුයි ගණකම්. අම්මගෙ කොණ්ඩෙ වගේ. නන්ගිගෙ කොණ්ඩෙ දුඹුරු පාටයි, තුනීයි. තාත්තගෙ කොණ්ඩෙ වගේ. ඉතින් දෙන්නගෙ කොණ්ඩ කපල එක ගොඩක තිබුනත් වර්ග දෙකක් විදිහට පේන්න තිබුන. නන්ගියි මමයි දෙන්නම සැලෝන් ගිහින් කොණ්ඩෙ කපන්න කැමති උනත් කාලයක්ම යනකන් ඒ අන්කල් තමයි අපේ කොණ්ඩෙ කැපුවෙ. දැන්නම් ඒ අන්කල් ජීවතුන් අතරත් නෑ. ඉතින් මේ වැඩේදි අපිට එපාම උන වැඩක් උනේ කොණ්ඩෙ කපන්න යොදාගත්ත තැන. ගෙදර පිටිපස්සට වෙන්න කොණ්ඩෙ කැපුවත් අපේ ගෙදර ලගින් තිබුන පාරට පේනව අපේ කොණ්ඩෙ කපනව. ඉතින් ඒ වෙද්දි මට අවුරුදු දාහතරක් පහලොවක් වගේ උන හින්ද මට හරිම ලැජ්ජයි පාරෙ යන කෙනෙක් දකිද්දි. ඒත් එක්කම අපිට කැමති අළුත් විලාසිතාවකට කොණ්ඩෙ කපන්න පුලුවන් උනෙත් නෑ ඒ අන්කල් කොණ්ඩෙ කපද්දි. ඒක හින්ද නන්ගිටයි මටයි තිබුනෙ කොටටම කපපු කොල්ලෙක්ගෙ කොණ්ඩෙ වගේ විලාසිතාවක් තමයි.

ඉතින් ඒලෙවල් කාලෙ වගේ වෙනකොට මටත් හිතිල තිබුනෙ කොණ්ඩෙ ටිකක් විතර වැවුවනම් හොදයි නේද කියල. මගෙ යාළුවො කොණ්ඩ කරල් දෙකට ගොතල එනකොට මටත් එහෙම එන්න ආස හිතුන. ඒත් ගෙදරින් කිව්වෙ නාල කොණ්ඩෙ වේලෙන්නෙ නැතුව ගියොත් අපිව ලෙඩ වෙයි කියල. ඒ වගේ හේතු හින්ද කොණ්ඩෙ වවන්න අවසර ලැබුනෙ ඒලෙවෙල් වලින් පස්සෙ කියලයි කිව්වෙ. මන් වගේම කොණ්ඩෙ කොටට කපපු තව කීප දෙනෙක්ම හිටපු හින්ද, කොන්ඩෙ වවන්න ඕනෙමයි කියල අපි කිව්වෙත් නෑ. මගෙ සමහර යාළුවන්ට මගෙ කොණ්ඩෙ පෙනුනෙ සමහර නළුවන්ගෙ කොණ්ඩෙ වගෙයි. ඉතින් මේ කාලෙ වෙද්දි අපි කැමති සැලෝන් වලට ගිහින් අපි කොණ්ඩෙ කපාගත්ත. ගොඩක් වෙලාවට අපි ස්කෝලෙ ඇරිල තමයි ගියෙ. මගෙ තව යාළුවො කීප දෙනෙක් එක්ක තමයි ගියෙ.

එහෙම දවසක මමයි තව මගෙ යාළුවෙකුයි ගියා කොණ්ඩෙ කපන්න. එදා අපි හිතුවෙ කොණ්ඩෙ පිටිපස්සෙන් ටිකක් විතර ගාන්න.ඒ විදිහට කපපු ගෑණු ළමයි හිටියත් ඇත්තටම ඒක පිරිමි කොණ්ඩා මෝස්තරයක්.ඒක හින්ද අපි සැලෝන් එකේ අක්කට කිව්ව වැඩිය නැතුව ටිකක් විතර පිටිපස්සෙන් ගාන්න කියල.ඒ අක්කත් හා කියල කිව්වට, කොණ්ඩෙ කපල ඉවර උනාම තමයි දැක්කෙ කැපිල තියෙන තරම. කණ්නාඩියෙන් කොණ්ඩෙ පිටිපස්ස බලද්දි තමයි මට තරු කෝටියක් පෙනුනෙ. කොල්ලෙක්ගෙ වගේ කොණ්ඩෙ. හරිම අවුල්. මගෙ වගේම මගෙ යාළුවගෙත් කොණ්ඩෙ පිටිපස්සෙන් හොදටම ගාල.ටිකක් වැඩිය කැපිල නේද අක්කෙ කියල අපි ඇහුවම එයා කිව්වෙ එහෙම නැතුව ඒ විදිහට කපන්න බෑ කියල. අපි මුලින්ම අහද්දි කලින් එහෙම කියන්න එපායෑ දෙය්යනේ කියල අපි දෙන්න මග දිගට උන්ට බැන බැන ආවෙ.ඊට පස්සෙ අපිට ආව ලොකුම ප්‍රශ්නෙ උනේ ඒ විදිහට ගෙදර යන එකයි. පහුවදාට ස්කෝලෙ යන එකයි. එදා ගෙදර ගිහින් මන් වැඩිය කට්ටිය ඉස්සරහට ආවෙ නෑ. කොන්ඩෙ පිටිපස්ස නොපෙනෙන විදිහට තමයි හිටියෙ. ස්කෝලෙ ගිහිල්ලත් එහෙම ඉන්න බැරි හින්ද මන් පස්සෙ දවස් දෙකක් විතර ස්කෝලෙ ගියෙ නෑ. ඉතින් පොඩි ලෙඩක් කියල ගෙදර ඉන්න දවස් ටිකේ අම්මයි තාත්තයි දැක්ක කොන්ඩෙ පිටිපස්සෙන් ගාල තියෙන අලුත් මෝස්තරේ. ඒගොල්ලො කොහොමවත් ඒක සුදුසු දෙයක් විදිහට පිලිගත්තෙ නෑ. ස්කොලේ යන ළමයකුට කොහෙත්ම හරියන්නෙ නැති දෙයක් විදිහට තමයි ඒක පෙනුනෙ. ඉතින් කොහොමහරි ස්කෝලෙ ගිහින් කොණ්ඩෙ පිටිපස්ස නොපෙන්න ඉන්න සෑහෙන උත්සාහයක් ගන්න උනා. ඒත් ඒ වැඩේ කොහොමවත් කරන්න බැරිඋනා ටියුශන් පන්ති ගියාම. අපිට පිටිපස්සෙ පේළි වල ගොඩක් ළමයි ඉන්න හින්ද කොහොමවත් හන්ගගෙන ඉන්න බැරිඋනා.මාව දැකපු ගොඩක් කොල්ලො හිනාවෙවී බැලුවෙ. කඩදාසි රොකට් කීපෙකුත් ඔළුවෙ වැදුන පන්තියේ ඉන්නකොට. පන්තියට ආව එක පිරිමි ළමයෙක් එයාගෙ යාළුවෙකුට කිව්වෙ ඊලග පාර එයත් මගෙ වගේ කොණ්ඩෙ කපනව කියල. ඉතින් කපාගනින්කො මට මොකද කියල වගේ බැල්මක් දාල මන් නිකන් හිටිය මොකුත් නොකිය.

ඉස්සර මන් ටියුශන් පන්ති යද්දි තිබුන නරක පුරුද්ද තමයි ටිකක් පරක්කු වෙලා යන එක. අඩුම තරමෙ විනාඩි පහක් දහයක් වත් පරක්කු වෙනව මොනව කලත්.ඔහොම දවසක් යද්දි පන්තියෙ සර් කිව්වෙ 'ඔව් ඉතින් කොණ්ඩෙ එහෙම හරියට පීරගෙන එන්න එපායෑ' කියල. ඒ දවස්වල තිබුනෙ පීරුවෙ නැතත් ඒක පේන්නෙ නැති කොණ්ඩයක්. ඉතින් අතින් හැදුවත් පීරුව වගේ තමයි. එහෙම කමෙන්ට් එකක් ආවෙ පන්තියෙ සර්ගෙන් හින්ද එදා නම් ටිකක් ලැජ්ජ හිතුන. පන්තියෙ එවුන් ඔක්කොමත් හිනා උනා. ඊලග දවසෙනම් කොහොමහරි කලින් එනව කියල හිතුවත් හරි ගියෙ නෑ. ඉතින් මන් කලේ මගෙ යාළුවො ඉදගෙන ඉන්න තැනටම යන්නෙ නැතුව ඉඩක් තිබුන කොහෙනහරි ඉක්මනට වාඩි උන එකයි.

මේ කාලෙ වෙද්දි මන් අදුරන පිරිමි ළමයි කීප දෙනෙක්ම මට කිව්ව පොඩ්ඩක් හරි කොන්ඩෙ වවන්න කියල. ඒත් ඉතින් ඒලෙවෙල් වලින් පස්සෙනෙ ගෙදරින් අවසර තිබුනෙ. දවසක් බස් එකේ හිටිය කොල්ලෙක් කිව්වෙ කොණ්ඩෙ නැති හින්ද වැඩක් නෑ කියල. මට එහෙම කිව්වමනම් හිනා ගියා. කොහොමත් ඒ කමෙන්ට් එක මට කීප දෙනෙක්ගෙන්ම ලැබිලයි තිබුනෙ. ඒක හින්ද ඒක අලුත් දෙයක් උනේ නෑ.ඒක හින්ද ඒ දවස්වල කොහොමත් කොණ්ඩෙ වවන්න ලැබුනෙ නෑ. එහෙම කොට කොණ්ඩයක් තිබුනත් හවස නෑවම හෙම්බිරිස්සාව හැදෙනව. කොණ්ඩෙ දිගට තිබුනනම් කොහොම තියෙයිද කියල මටත් හිතිල තිබුනෙ. ඉතින් එහෙම නාන්න ලැබුනෙ නැති දවසක මගෙ ඔළුව ගානට වගේ උස පිරිමි ළමයෙක් මට එහා පැත්තට වෙන්න බස් එකේ හිටගෙන හිටිය.පොර කිව්ව කොණ්ඩෙන් අමුතු ගදක් එනව කියල. මොකටද මෝඩයො කොන්ඩෙ ඉම්බෙ ඉතින් කියල මන් හිතින් කියල නිකන් හිටිය.

පළවෙනි පාර ඒලෙවෙල් විභාගෙ රිසල්ට්ස් මදි උන හින්ද දෙවෙනි පාරත් විභාගෙ කරන්න උනා. ඉතින් ඔය කාලෙදි තමයි කොණ්ඩෙ වවන්න පටන් ගත්තෙ. කොහෙහරි යද්දි අම්ම තමයි කොණ්ඩෙ පීරල වූල් බෑන්ඩ් එක දැම්මෙත්. කොණ්ඩෙ එහෙන් මෙහෙන් කෑලි ගොඩක් පනින හින්ද කොන්ඩ කටුත් විස්සක් විතර ඔලුව වටේටම ගහගෙන තමයි හිටියෙ. ඉතින් ඔය විදිහට කොන්ඩෙ දාගෙන පන්ති ගියාම යාළුවො කිව්වෙ අකුණු ගැහුවොත් එහෙම වදින්නෙ මගෙ ඔලුවෙ තියෙන කොණ්ඩ කටු ටිකට කියලයි.එහෙම කියල උන් හිනාවෙවී හිටියෙ. එදා පන්තියේදි කඩදාසි ගුලි, පොඩි ගල්කැට කෑලි පවා ඔලුවෙ වැදුන. මගේ කොන්ඩෙ ඒ විදිහට තමයි පන්තියෙ හිටපු පිරිමි ළමයි ටික පිලිගත්තෙ. පන්ති ඇරිල එනකොට බස් එකේ ආව කීපදෙනෙක් කොන්ඩෙ එහෙන් මෙහෙන් ඇදල ගැලෙව්ව. ගෙදරට එනකොට කොන්ඩ කටු ටික විතරයි ඔලුවෙ ඉතුරු උනේ. වූල් බෑන්ඩ් එක අතේ.

ඉතින් කාලයත් එක්ක කොන්ඩෙට එක එක දේවල් කලා. රිලැක්ස් කලා, රීබොන්ඩ් කලා, ලේයර් කරල කැපුව. කාලයක් හොදට දිගට තිබුනත් දැන් නම් තියෙන්න කොට කොණ්ඩ මෝස්තරයක් තමයි. දැන් ඉස්සරහට එන ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ කොන්ඩෙ ඉදෙන එක තමයි. දැනට පේන පේන ඒව කතුරෙන් කපල දැම්මත් මන් හිතන්නෙ ගොඩක් කල් එහෙම කරන්න පුලුවන් වෙන එකක් නෑ වගෙයි. දවසක් මන් ගිය සැලොන් එකක හිටපු කොන්ඩෙ කපන පිරිමි ළමය කිව්වෙ එහෙම කපපුව ඇන්ටෙනා වගේ උඩට ඉස්සිලා කියල.ඊට පස්සෙ ගිය තැනක් හිටපු අක්ක කිව්වෙ කලර් කරමු කියල.බලමු මොකක්ද කරන්න පුලුවන් කියල.
කොහොම උනත් ජීවිතෙ ඇත්ත ඒක තමයි. ඇත්ත පිලිගන්න කොච්චර අමාරුද කියල හිතෙන්නෙත් මේ වෙලාවටම තමයි.මොකද ඉදුනු කොණ්ඩයක් එක්ක ඉන්න තරම් තවම හිත ලෑස්තියක් නැති හින්ද. දවසට කීප සැරයක් හැමදෙයක්ම ඇතිවී පැවතී නැතිවෙනව කියල හිතුවත් ඒක ප්‍රායෝගිකව තමාම තුලින්ම තමයි දකින්න ඕනෙ. ඒ ගානට හිත හැදෙනවනම් මන් කැමතියි.

මුලින්ම කොණ්ඩ ගස් එකක් දෙකක් ඉදෙනකොට අපි ටිකක් කලබල උනා.එක යාළුවෙක් කිව්වෙ සුදු එලිය තියෙන බල්බ්ස් යට ඉන්නකොට කොණ්ඩෙ ඉදෙනව වැඩියි කියල. තව එකෙක් කිව්ව ඒසී එකටත් කොණ්ඩෙ සුදු වෙනව කියල.තව යාළුවො කතාඋනා ඉදුන ගස් කපන්නෙ නැතුව ගැලෙව්වොත් ඒ තැන්වලින් තව සුදු ගස් එනව කියල.ගෙදර අය කිව්ව රෑ නෑවම ඉදෙනව කියල.හොදම යාළුවො කට්ටිය සෙට් උනාම කොණ්ඩෙ සුදු කෙස් කියන්නෙ ප්‍රධාන මාතෘකාවක්. අපේ එක යාළුවෙක් ඇහුවෙ 'අනේ දෙය්යනේ දැන් අපි මොකද මේකට කරන්නෙ කියල?. ඌ ඒක අහපු විදිහට අපිට මැරෙන්න හිනා.හොද ඩයි පාරක් දාමු ඩලෝ කියල අපි උගෙ හිත හැදුව. කොහොම උනත් මන් දැක්ක ඩයි දාන්න ගිහින් සමහර අයට ඇලර්ජීස් ඇවිත් තියෙනව වගේම මැරිලත් තියෙනව. ඒක හින්ද ඒ වැඩේ නම් හොදට හිතල බලල හොද ප්‍රොඩක්ට් එකකින් කරන්න කියල මන් ඉල්ලා සිටිනව.

No comments:

Post a Comment

25. විනෝද චාරිකා

පවුලෙ අයත් එක්ක මුලින්ම ගිය විනෝද චාරිකාව මොකක්ද කියල නම් මට හරියට මතක නෑ . ඒත් ඉස්සර අනිවාර්යෙන්ම දෙසැ...